Friday, March 29, 2024

General line - 0115112241

සම්පූර්ණයෙන් එන්නත්කරණය කරන ලද පුද්ගලයන්ට ඩෙල්ටා ප්‍රභේදයෙන් සාර්ථක ආරක්ෂාවක්




වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කළ ඉතා කුඩා නියැදි තුළින් ලබා ගන්නා ලද දත්ත බැවින් අලුත් දත්ත ලැබීමත් සමග ඉදිරියේදී තත්ත්වය වෙනස් විය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.

ඒ, ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය මෙරට සමාජයෙන් පළමු වරට හඳුනා ගැනීම  පිළිබඳ අදහස් පළ කරමින්.

මෙවැනි විකෘතිතාවයක් ඇතිවූ විට එය අනෙක් ප්‍රභේද අභිබවා ඉතා ඉක්මනින් මිනිසුන් අතර පැතිර යාම සිදුවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.

ඊට එක් හේතුවක් වන්නේ මෙලෙස අලුතෙන් එකතු වූ ප්‍රභේද පෙර තිබූ ප්‍රභේද වලට වඩා පහසුවෙන් පුද්ගලයින් අතර පැතිර යෑමයි.

මෙලෙස දැනට ශ්‍රී ලංකාවේ පැතිරෙමින් පවතින බ්‍රිතාන්‍යයේ ඇල්ෆා වෛරස ප්‍රභේදයටත් වඩා සීග්‍රයෙන් පැතිරී යෑමේ හැකියාවක් ඇතැයි ලෙස සැලකෙන ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය සොයාගැනීමත් සමග රෝගය පැතිරී යෑමේ අවදානම ඉහළ යෑමට ඉඩ ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.

කෙසේ වෙතත්, සම්පූර්ණයෙන් එන්නත්කරණය කරන ලද පුද්ගලයන් හට මෙම ඩෙල්ටා ප්‍රභේදයෙන් ද බොහෝ දුරට සාර්ථක ආරක්ෂාවක් ලැබෙන බව පර්යේෂණ වාර්තාව මගින් පෙනී යන බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.  

දැනට ශ්‍රී ලංකාව තුළ සිදු කරගෙන යන එන්නත්කරණය, පවතින ප්‍රභේද මෙන්ම මෙම නව ප්‍රභේදය හේතුවෙන් ඇතිවන දරුණු කෝවිඩ් රෝගී තත්ත්ව සහ මරණ අවම කිරීමට ද යෝග්‍ය වනු ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසන්නේ.

කෙසේවෙතත්, ඔවුන් අවධාරණය කරන්නේ කොරෝනා ආසාදන තත්ත්වයෙන් මිදීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පෙර පරිදිම මෙම නව ප්‍රභේදයටත් අදාල වන බවයි.

ඉතා වේගයෙන් පැතිර යා හැකි නව ප්‍රභේදය සොයා ගැනීමත් සමග, ජනතාව ගැවසෙන ස්ථාන මෙන්ම, පිරිස් එකිනෙකාට ආසන්නයෙන් ගැවසෙන සංවෘත අවකාශ මග හැරීම පිලිබඳ වඩාත් අවධානය යොමු කල යුතු වනවා.

අන් ප්‍රභේදවල මෙන්ම මෙම ප්‍රභේදයෙත් රෝග ලක්ෂණ පහළ වීමට කාලයක් ගත විය හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.

ඇතැම් විට සැලකිය යුතු රෝග ලක්ෂණයක් නොපෙන්වා වෛරසය ශරීරගතවී තිබිය හැකි බවත්, එබැවින් නිතර හමුවන නිරෝගී යැයි පෙනෙන පුද්ගලයෙකුගෙන් පවා රෝගය බෝවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය නොවන සියලු හමුවීම් හා ගමන් බිමන් නතර කරන ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පවතින තත්වය යටතේ වසංගතය පාලනය කිරීම උදෙසා රෝග නිවාරණ පිලිවෙත් අකුරටම පිළිපැදීමේ අවශ්‍යතාව මේ අවස්ථාවේ අන් කවරදාකටත් වඩා තදින් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අවධාරණය කරනවා.