Tuesday, April 23, 2024

General line - 0115112241

TECNO CAMON 17 දුරකථන දැන් ශ්‍රී ලංකාවේ




ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන TECNO හි නවතම මාදිලිය වන TECNO CAMON 17 පසුගියදා ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වා දෙන ලදි. 

අඩු ආලෝක තත්ත්වයන් යටතේ පවා විශිෂ්ට මට්ටමේ ඡායාරූප ලබාදෙන TECNO AI Vision Optimization Solution (TAIVOS) තාක්ෂණය මීට ඇතුළත් වී ඇත. එමෙන්ම මෙහි සෙල්ෆි කැමරාව, වෙළඳපොළේ වඩාත්ම පැහැදිලි ඡායාරූප ලබාදෙන සෙල්ෆි කැමරාව ලෙසද සැලකේ. එහි සන්නාම තානාපති ලෙස කටයුතු කරනුයේ සුපිරි හොලිවුඩ් නළු ක්‍රිස් එවන්ස් ය. 

CAMON 17 මාදිලිය හඳුන්වා දීමේ උත්සවය පසුගිය ජූලි 16 දින පැවැත්වුණු අතර එය TECNO නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේ විකාශය කරන ලදි. ජනප්‍රිය රංගන හා නිරූපණ ශිල්පිනී රොෂෙල් රොජර්ස්, සිනමාත්මක නිර්මාණශිල්පී CJ සහ තාක්ෂණ ලොවේ ජනප්‍රිය තරුවක් වන චනුක්ස් බ්‍රෝ ඇතුළු තරු රැසක්ද මීට එක්වූහ. TECNO CAMON 17  මාදිලියට අමතරව SPARK 7, SPARK 7 PRO, CAMON 17 PRO සහ POVA 2 යන මාදිලිද මෙහිදී හඳුන්වා දෙන ලදි. 

චනුක්ස් බ්‍රෝ විසින් උත්සවය මෙහෙයවන ලද අතර, TECNO සම්බන්ධයෙන් තම අත්දැකීම් විස්තර කරමින් ඔහු ප්‍රකාශ කළේ, TECNO යනු ශ්‍රීලංකාවට තවමත් අලුත් සන්නාමයක් ලෙස සැලකිය හැකි වුවද, අලංකාරය සහ ක්‍රියාකාරීත්වය අතින් TECNO අනෙකුත් පිළිගත් සන්නාම වල දුරකථන වලට සමාන මට්ටමක පවතින බවයි. 

CAMON 17 නිල වශයෙන් හඳුන්වා දීමට පෙර කෙටි කලක් එය භාවිතා කළ රොෂෙල් රොජර්ස්, එහි කැමරාවේ තත්ත්වය හා අනෙකුත් විශේෂාංග තමන් පුදුමයට පත්කළ බව කියා සිටියා ය. CJ ද මෙහිදී CAMON 17 හි කැමරාවේ විශිෂ්ටත්වය විස්තර කළේ ය. 

“ශ්‍රී ලංකාවේ දුරකථන වෙළඳපොළට පිවිසීමට ලැබීම අපට මහත් සතුටක්. මෙරට පාරිභෝගිකයන්ගෙන් අපට උණුසුම් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. 2006 දී ආරම්භ වූ TECNO, ලොව පිළිගත් වෙළඳපොළ සමීක්ෂණ සමාගමක් වන IDC විසින් 2020 4 වැනි කාර්තුවට අදාළව නිකුත් කළ දත්ත වලට අනුව ලොව ප්‍රමුඛතම සන්නාම 10 අතරට පැමිණ තිබෙනවා.” TECNO Sri Lanka අධ්‍යක්ෂ Ray Chaw මහතා පැවසී ය. 

වෘත්තියෙන් ගුරුවරියක වන නදීශානි විජේසූරිය මෙහිදී SPARK 7 PRO මාදිලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, සහනදායී මිල, පහසුවෙන් භාවිතා කළ හැකි UI පද්ධතිය සහ සුවිශේෂී බැටරිය වැනි සාධක නිසා මෙය‘ඔන්ලයින්’ ඉගෙනුම් කටයුතු සඳහා දරුවන්ටත් ගුරුවරුන්ටත් ඉතාමත් සුදුසු බවයි. 

මෙහිදී ප්‍රශ්න විචාරාත්මක තරගයක්ද පැවති අතර ජයග්‍රාහකයන්ට නව මාදිලි පෙළට අයත් දුරකථන 4 ක් පිරිනමන ලදි. TECNO නිල ෆේස්බුක් පිටුව හරහා 1,500 කපමණ පිරිසක් සහ Chanux Bro YouTube චැනලය හරහා 3,500 ක පමණ පිරිසක් මෙම උත්සවය සජීවීව නැරඹුහ. 

90Hz වැනි ඉහළ refreshing මට්ටමක් සහිත CAMON 17 මාදිලිය වීඩියෝ ක්‍රීඩා සඳහා ඉතාමත් සුදුසු ය. 8 core CPU සහිත එහි බැටරිය 5000mAh වේ. 

2016 වසරේ සිට මැන්චෙස්ටර් සිටි පාපන්දු සමාජයේ නිල ටැබ්ලට් සහ හෑන්ඩ්සෙට් සහකරු ලෙස කටයුතු කරන TECNO, ලොව විශාලතම Flipbook සඳහා වන ගිනස් ලෝක වාර්තාවටද හිමිකම් කියයි. ටෙනිස් පිටියක් තරම් විශාල වූ මෙය CAMON 17 PRO දුරකථන වලින් ලබාගත් ඡායාරූප වලින් සමන්විත වූ අතර, එය 2018 වසරේදී TECNO අප්‍රිකානු මහද්වීපයට පිවිසීම වෙනුවෙන් සිදුකරන ලද ව්‍යාපෘතියකි. 

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් වැඩිදියුණු කරන ලද ඡායාරූප හා වීඩියෝ තාක්ෂණයන් සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් අත්පත් කරගැනීමට TECNO මේ වනවිට සමත් වී තිබේ. එහි දෘඪාංග හා මෘදුකාංග ඇතුළුව සියලුම අංග වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන් එහි පර්යේෂණ හා සංවර්ධන වියදම් පසුගිය වසරේදී 30% කින් ඉහළ ගොස් ඇත. 

TECNO Sri Lanka නිල ෆේස්බුක් පිටුව වන https://www.tecno-mobile.com/lk/ හි නව දුරකථන මාදිලි පිළිබඳ විස්තර දක්වා තිබේ.