Friday, April 19, 2024

General line - 0115112241

කොවිඩ් එන්නත අලුතින් ලබා ගන්නා පුද්ගලයින්ට ඩොලර් 100ක් දෙන්න - අමෙරිකානු ජනාධිපති




කොවිඩ් වෛරසයේ යලි හිස එසවීමත් සමග එය මර්ධනය කිරීම සඳහා ලබා දෙන එන්නත අලුතින් ලබා ගන්නා පුද්ගලයින්ට අමෙරිකානු ඩොලර් 100ක මුදලක් ත්‍යාගයක් වශයෙන් පිරිනැමීමට කටයුතු කරන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බිඩ්න් එරට ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අමෙරිකාවේ විශාලතම සේවක සංඛ්‍යාවක් නියෝජනය කරනු ලබන එරට ෆෙඩරල් අංශයේ මිලියන 02කට ආසන්න සේවකයින් අනිවාර්යෙන්ම කොවිඩ් එන්නත ලබා ගත යුතු බවටද ජනාධිපතිවරයා නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඒ අනුව සේවකයින් තමන් කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන ඇති බවට සහතිකයක් ඉදිරිපත් කළ යුතු වන අතර එසේ නොමැතිනම් ඔවුන්ට නිතිපතා කොවිඩ් පරීක්ෂණ වලට ලක්වීම සහ මුහුණු ආවරණ පැළද සිටීම අනිවාර්ය කර ඇත.

නිල වාර්තා අනුව අමෙරිකාවේ සමස්ත ජනගහණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන ඇති බව සඳහන්.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින්ට එල්ලවන තර්ජනය අවම කිරීමට මෙම නව ක්‍රියාමාර්ග ගන්නා බවයි ධවල මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

" මිනිසුන් මියැදෙමින් සිටිනවා.. අවශ්‍ය නැති පුද්ගලයින්ද මියයනවා" යැයි මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

එන්නත ලබා නොගත් සේවකයින් සේවකයින් සේවයෙන් පහ නොකරන බව පැවසූ ජනාධිපතිවරයා, ධවල මන්දිරය එයට උදාහරණයක් ලෙස පෙන්වා දුන්නා. 

" මිට පෙර එන්නත ලබාගත් පුද්ගලයින්ට මුදල් ලබානොදී අලුතින් එන්නත ලබාගන්නා පුද්ගලයින් මුදල් පිරිනැමීම අසාධාරණ බවට පෙනුනත්, එන්නත ලබා නොගත් පුද්ගලයින් ඒ සඳහා දිරිගැන්වීම තුලින් සැවොටම වාසියක් හිමිවන බවයි" ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර සිටියේ.