Tuesday, April 16, 2024

General line - 0115112241

චීනය තුල යලි කොවිඩ් රැල්ලක්




වූහාන් නගරයෙන් කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වීමෙන් අනතුරුව බරපතලම කොරෝනා ව්‍යාප්ති තත්ත්වයට චීනය යලිත් මේවනවිට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, චීනයේ ප්‍රදේශ කිහිපයකින් කොරෝනා පොකුරු වාර්තා වීමත් සමගයි.

ඒ අනුව නැන්ජින් නගරයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිත පොකුර මේවනවිට තවත් නගර 05 කට සහ බීජිං නගරයට ව්‍යාප්ත වී තිබෙනවා. කොරෝනා ව්‍යාප්තියේ ආරම්භයත් සමග බැට කෑ චීන වැසියන්ට මෙය භයානක තත්ත්වයක් බව ද චීන මාධ්‍ය වාර්තා කළා. 

නැන්ජින් ප්‍රදේශයේ ගුවන් තොටුපළකින් ඉකුත් 20 වනදා කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන තිබුණා. අනතුරුව මේ දක්වා කාලය තුලදී නැන්ජින් නගරයෙන් ආසාදිතයින් 200 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. පවතින අවදානම් තත්ත්වය අනුව නැන්ජින් ගුවන් තොටුපළෙන් සිදුකෙරෙන සියලු ගුවන් ගමන් අගෝස්තු 11 වනදා දක්වා අත්හිටුවීමටයි බලධාරීන් පියවර ගත්තේ. 

මේ වනවිට නැන්ජින් නගරයට ආවරණය වන පරිදි කොරෝනා පරීක්ෂණ සිදු කෙරෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඒ අනුව නැන්ජින් නගරයේ වෙසෙන මිලියන 9.3 ක වැසියන්ට කොරෝනා පරීක්ෂණ සිදු කෙරෙනු ඇති. නැන්ජින් නගරය තුළ මේවනවිට පැතිර යන්නේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය බවට බලධාරීන් සැක පළ කරනවා.