Thursday, April 25, 2024

General line - 0115112241

ජැමෙයිකානුවන් ඉවතට - මෙවර ලොව වේගවත්ම මිනිසා ඉතාලියෙන්




මිහිපිට වේගවත්ම මිනිසා ලෙස අභිෂේක ලබන්නට ඉතාලියේ ලැමොන්ට් ජේකොබ්ස් අද පස්වරුවේ සමත් වුණා. ඒ, මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ඔහු දැක්වූ දක්ෂතාව තත්පර 9යි දශම 8යි 0ක්. එම දක්ෂතාව නව යුරෝපා වර්තාවක් ලෙස සටහන් වුණා.

අවසන් වරට පැවති ඔලිම්පික් උළෙල තුනේදී මීටර් 100 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගෙන තිබුණේ  ජැමෙයිකානු සුපිරි ධාවන ශූර උසේන් බෝල්ට් විසින්. ඒ අනුව වසර 13ක් පැවති එම ආධිපත්‍ය බිඳ දැමීමට ඉතාලි ධාවන ශූර ලැමොන්ට් ජේකොබ්ස් අද සමත් වුණා. 

එම ඉසව්වේ රීදි පදක්කම අමෙරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි විසින් දිනා ගත්තේ තත්පර 09යි දශම 8යි 4ක දක්ෂතාවක් වාර්තා කරමින්. එම ඉසව්වේ ලෝකඩ පදක්කම කැනඩාවේ අන්ද්‍රෙ ග්‍රාස් විසින් දිනා ගත්තා. ඔහු 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදීද මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.  

අද පැවති පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ අවසන් තරගය සඳහා කිසිදු ජැමෙයිකානු ක්‍රිඩකයෙකු සුදුසුකම් නොලැබීම විශේෂත්වයක්. ඒ අනුව 2004 වසරෙන් පසු ජැමෙයිකානු ක්‍රීඩකයින් නොමැති මීටර් 100 ධාවන ඉසව්වේ ඔලිම්පික් අවසන් තරගයක් මෙලෙස නිමාව දුටුවා.

ජැමෙයිකානු ක්‍රීඩකයින් වන යොහාන් බ්ලේක්ස් සහ සෙවිලේ ඔබ්ලික් එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තද ඔවුන් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුයේ නැහැ.

මේ අතර ටෝකියේ ඔලිම්පික් ක්‍රිඩා උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්වෙන් නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට චීනයේ සූ බින්ග්ටියන් අද සමත් වුණා. ඒ, එම ඉසව්වේ තුන්වන අවසන් පූර්ව තරගය ජය ගනිමින්. ඔහු දැක්වු දක්ෂතාව තත්පර 9යි දශම 8යි 3ක්.  චීන ක්‍රීඩකයාට මීටර් 100 අවසන් තරගයේදී හිමි වුයේ 06වන ස්ථානයයි.