Saturday, April 20, 2024

General line - 0115112241

ඔලිම්පික් ඉතිහාසය අලුතින් ලියැවුණු සුවිශේෂී සිදුවීම




ඔලිම්පික් ක්‍රීඩා උළෙලක පළමු වරට මලල ක්‍රීඩා ඉසව්වක රන් පදක්කමක් ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් බෙදාගනු ලැබුවා. ඒ, ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඊයේ පැවති පිරිමි උස පැනීමේ ඉසව්වේදීයි.

එහිදී කටාර් රාජ්‍ය නියෝජනය කළ මුටාස් එසා සහ ඉතාලිය නියෝජනය කළ ජියන් මාර්කෝ තම්බෙරි මෙලෙස එම රන් පදක්කම බෙදාගනු ලැබුවා. ඔවුන් දෙදෙනාම අවසන් තරගයේදී කිසිදු බාධාවකින් තොරව මීටර් දෙකයි දශම 1 යි නවයේ සිට මීටර් දෙකයි දශම 3 යි 7 දක්වා උස, පළමු අවස්ථාවේදීම තරණය කිරීමට සමත් වුණා.

කෙසේවෙතත් ඔවුන් දෙදෙනාට පසුව ලබාදුන් මීටර් දෙකයි දශම 3 යි 9 ක උස තරණය කිරීම අපහසු වුණා.

අනතුරුව රන් පදක්කම දිනා ගන්නා ක්‍රීඩකයා තේරීම සදහා තවත් තවත් උසක්  තරණය කරන්නේ දැයි තරග විනිසුරුවන් එම ක්‍රීඩකයින් දෙදෙනාගෙන් විමසා සිටියා. එහිදී එම ක්‍රීඩකයින් දෙපළ තරග විනිසුරුවන්ගෙන් විමසා සිටියේ මෙම රන් පදක්කම බෙදාගැනීමට නොහැකි ද යන්නයි.

අනතුරුව තරග විනිසුරුවන් ඊට එකඟතාව පළ කළ අතර ඒ අනුව කටාර් ක්‍රීඩකයා සහ ඉතාලි ක්‍රීඩකයා අතරේ පිරිමි උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම බෙදී ගියා.

මෙම සිදුවීම පිටියේදී සහෝදරත්වය ප්‍රදර්ශනය කළ අවස්ථාවක් ලෙසයි ක්‍රීඩා විචාරකයින් සදහන් කර තිබුණේ. පිරිමි උස පැනීමේ අවසන් තරගය සදහා ඕස්ටේ්‍රලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ගේ බාල සොහොයුරාද එක්ව සිටියා. ඔහුට හිමි වුයේ එම ඉසව්වේ 5 වන ස්ථානයයි.