Tuesday, April 16, 2024

General line - 0115112241

ඩෙල්ටා ව්‍යාප්තිය නිසා මිනිස්සු ඔක්සිජන් නැතිව රෝහල්වල මැරී වැටෙනවා : දැන්වත් ගුරු විරෝධතා නවත්වන්න - රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන (VIDEO)




මෙරට කොවිඩ් වෛරසයේ වත්මන් ව්‍යාප්තිය එතරම් සතුටුදායක මට්ටමක නොමැති බවත් පසුගිය කාල සීමාවේදී වාර්තා වූ රෝගීන් ගෙන් බහුතරයක් දෙනා සඳහා ඔක්සිජන් අවශ්‍යතාවය මතුවී තිබෙන බව ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා.

විශේෂයෙන් අද වන විට ලංකාවේ නිපදවන සමස්ත ඔක්සිජන් ප්‍රමාණයම රෝගීන්ට ලබාදීමට සිදුවීම නිසා ඉදිරි සතියේදී ඉන්දියාවෙන් සහ සිංගප්‍පුරුවෙන් අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ඩෙල්ටා ප්‍රභේදය හමුවේ මිනිසුන් ඔක්සිජන් නොමැතිව රෝහල් තුළ මැරී වැටෙන තත්ත්වයට පත්ව ඇති බවත් දේශපාලන මතවාද දෙකක සිටියත් රට මුහුණ පා ඇති වත්මන් තත්ත්වය ගැන සලකා ගුරුවරුන් විසින් සිදුකරනු ලබන විරෝධතා අත්හිටුවීමට කටයුතු කරන ලෙස මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉල්ලීමක් සිදුකර සිටියා.

එමෙන්ම පසුගිය සති දෙකක කාලය තුලදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගෙන් බහුතරයක් විවාහ මංගල උත්සවයන් ආශ්‍රිතව සහ මුහුණු ආවරණ ඉවත් කොට එකට එක්වී ආහාර ගැනීමේ දී වෛරසය සම්ප්‍රේෂණය වූ පුද්ගලයින් බවට හඳුනා ගෙන තිබෙන බව මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඩෙල්ටා ප්‍රභේදයේ වත්මන් ව්‍යාප්තියත් සමග රජය ඒ සම්බන්ධයෙන් සංවේදී නොවන බවට ඇතැමුන් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ද පාර්ලිමේන්තුව අමතමින් වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් පළ කළා. 

සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී කියා සිටියේ මේ දක්වා දරුවන් 45,831 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ද මෙහිදී අදහස් පළ කළා.