Friday, April 19, 2024

General line - 0115112241

දත්ත පැටළුණු ගම්පහ දෛනික ආසාදිතයින් අසාමාන්‍ය ලෙස පහලට

ජූඩ් සමන්ත




ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් යළි ගැටළුකාරී තත්ත්වයක් ඇතිවි තිබෙනවා. ඒ, මෙතෙක් දෛනික ආසාදිතයින් 100 සීමාව පවා ඉක්මවා වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ නිකුත් වූ වාර්තා වලට අනුව ආසාදිතයින් 35 දෙනෙකු පමණක් වාර්තා වීමයි. 

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත දත්ත සම්බන්ධයෙන් කථාබහක් මතුවූයේ කොවිඩ් මර්දන දිස්ත්‍රික් කමිටුවේදී හෙළිවූ තොරතුරු හේතුවෙන්. එහිදී අනාවරණ වූයේ ඉකුත් අගෝස්තු 01 වනදා සිට 09 වනදා දක්වා ආසාදිතයින් 12,555 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඉන් ආසාදිතයින් 4,046 දෙනෙකු පමණක් රෝහල්ගත කර ඇති බවත්, තවත් 1,506 දෙනෙකු නිවෙස් නිරෝධායනයේ සිටින බවයි.

එහෙත්, අදාළ කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ලෙස වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කළේ ආසාදිතයින් 3,629 දෙනෙකු පමණයි. ඒ අනුව සෙසු ආසාදිතයින් 7003 දෙනා වාර්තා නොවූයේ මන්දැයි මේවනවිටත් ඇත්තේ නොවිසඳුනු ගැටළුවක්. 

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද මෙවන් ප්‍රතිචාරයක් දැක්වුවා. 

බිම් මට්ටමේ දත්ත ජාතික මට්ටමේදී නිසි ලෙස වාර්තා නොවන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ. 

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ හැකි ඉක්මනින් ඒ සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් සිදුකරන බවයි. 

කෙසේවෙතත්, වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පළ කළේ මෙවන් අදහසක්. 

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 2,049 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව තුන් ලක්ෂ 2,455 ක්. මේවනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් තුන් ලක්ෂ 42,079 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 32,111 ක්.