Tuesday, April 23, 2024

General line - 0115112241

හෙක්ටයාර් ලක්‍ෂ 7කට අවශ්‍ය කාබනික පොහොර පිටරටින් ගෙන්වයි




මෙරටට ආනයනය කෙරෙන කාබනික පොහොර වර්ග 02 ක් ලබන මාසයේ සිට මෙරටට ගෙන ඒමට නියමිත බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසනවා. 

එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල පැවසුවේ රටට අවශ්‍ය සමස්ථ කාබනික පොහොර ප්‍රමාණය සම්පූර්ණයෙන්ම රටතුළ නිපදවීමට නොහැකිවීම හේතුවෙන් තාවකාලික ක්‍රියාමාර්ගයක් ලෙස එම පොහොර වර්ග ආනයනය කරන බවයි.

කෙසේවෙතත් ඇතැම් පාර්ශව චෝදනා කරන්නේ විදේශ රටවලින් ගෙන්වන පොහොර කාබනික පොහොරම දැයි ගැටළුවක් පවතින බවයි. 

එමෙන්ම මෙරට වගාබිම් ප්‍රමාණයට අවශ්‍ය පරිදි කාබනික පොහොර ඇත්දැයි ඔවුන් තවදුරටත් ප්‍රශ්න කරනවා.

 ඒ අනුව මෙලෙස ගෙන්වන පොහොරවල ප්‍රමිතිය සහ එමගින් ආවරණය කිරීමට අපේක්‍ෂිත වගා බිම් ප්‍රමාණය සම්බන්ධයෙන් නෙත් නිවුස් කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිලගෙන් විමසීමක් කළා.

ඔහු වැඩිදුරටත් කියාසිටියේ ගොවිජනතාව අනිවාර්යයෙන්ම කාබනික පොහොර නිෂ්පාදනයට පෙළඹීම අත්‍යවශ්‍ය බවයි. 

රජයේ කාබනික පොහොර වැඩසටහන යටතේ බොහෝ ප්‍රදේශවල ගොවීන් දැනටමත් කාබනික පොහොර නිෂ්පාදනයට කටයුතු කරමින් සිටින අතර ඇතැම් ප්‍රදේශවල එම කටයුතු අපේක්‍ෂිත මට්ටමට ඉටුවී නොමැති බව ඉකුත් දිනවල අනාවරණ වුණා.