Thursday, April 18, 2024

General line - 0115112241

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් දිවයිනට 




ශ්‍රී ලංකාව විසින් චීනයෙන් මිළදී ගත් “සයිනොෆාම්” එන්නත් මාත්‍රා ලක්ෂ  40 ක් අද අලුයම මෙරටට රැගෙන ආවා.

 ඒ, චීනයේ බීජිං නුවර සිටි පැමිණී ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්  යානයකින්. 

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වනවිට චීනයෙන් “ සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියන 22 ක් මිළදී ගෙන ඇති බවයි මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

තවත් දින 03 කින් පමණ මෙරටට තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලයන 04 ලැබීමට නියමිතව ඇතැයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.  

මේ අතර මෙම මාසය අවසන් වීමට පෙර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගත හැකි, එන්නත් මාත්‍රා එක් ලක්ෂ 20,000 ක් මෙරටට ලබා දීමට, රුසියානු එන්නත් නිෂ්පාදන ආයතනයක් පොරොන්දු වී ඇතැයි ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක පවසනවා. 

එළඹෙන ඔක්තෝබර් මාසය තුළ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් මෙරටට ලබා ගැනීම සදහා ද, ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව මේ වනවිටත්, මුදල් ගෙවා ඇති බවයි ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී පුද්ගලයින් 49,763 දෙනෙකුට කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. 

පුද්ගලයින් එක් ලක්ෂ 30,299 දනෙකු ඊයේ දිනයේදී කොරෝනා මර්දන එන්නතක දෙවන මාත්‍රාව ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. 

මේ අතර මෙරට පුද්ගලයින් එක් කෝටි විසිහත් ලක්ෂ 3,070 දෙනෙකු සඳහා මේවනවිටත් කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. 

ඉන් පුද්ගලයින් අනූ එක් ලක්ෂ 37, 887 දෙනෙකු මේවනවිටත් දෙවන මාත්‍රාව ද ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.  

මේ අතර නෙත් නිවුස් අනාවරණයෙන් පසු ඔක්සිමීටරයක් සදහා රුපියල් 3,000 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කරමින් ඊයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අත්සනින් යුතුවයි.  

එහි දැක්වෙන්නේ ඔක්සිමීටරයක උපරිම සිල්ලර මිල මැකිය නොහැකි තීන්ත වර්ගයකින් පැහැදිළිව මුද්‍රණය හෝ සලකුණු කළ යුතු බවයි. 

මෙම නියෝගය අනුව ඔක්සිමීටරයක ප්‍රකාශිත මිලට වැඩියෙන් අලෙවි කරන තැනැත්තෙකුට හෝ යම් සමාගමකට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව පවතිනවා.