Friday, April 19, 2024

General line - 0115112241

විරාට් කෝලි තීරණයක් ගනී 




මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියෙන් පසු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට විරාට් කෝලි තීරණය කර තිබෙනවා. 

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නිල ට්විටර් ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ඒ බව සඳහන් කළා. 

විරාට් කෝලි මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඉන්දීය 20 යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ. විරාට් කෝලි මේවනවිට අයි පී එල් තරගාවලි 09 කදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබෙනවා. එහිදී අයි පී එල් තරග 132 කදී එම කණ්ඩායම මෙහෙයවූ විරාට් කෝලි තරග 62 කදී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. 

ඔහුගේ නායකත්වය යටතේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම දැක්වූ ඉහළම දක්ෂතාව වන්නේ 2016 වසරේදී අයි පී එල් අනුශූරතාව දිනා ගැනීමයි. 

මේ අතර අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අබුඩාබි හිදී අද පැවැත්වෙනවා. 

ඒ, විරාට් කෝලි නායකත්වය දරණ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ඔයින් මෝගන් නායකත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි. 

වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ද රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සංචිතයට ඇතුළත්ව සිටිනවා. 

අද තරගයේදී වනිඳු හසරංගට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. 

එම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 07 යි 30 ට ආරම්භ වනවා.