Thursday, April 25, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවට ප්‍රබල භූමිකම්පාවක්




ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ අද උදෑසන රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව එරට මාධ්‍ය විසින් වාර්තා කර සිටිනවා. මෙම භූමිකම්පාව හේතුවෙන් මෙල්බර්න් නුවර පිහිටි ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙල්බෝර්න් නුවරට නැගෙනහිරින් පිහිටි මැන්ස්ෆීල්ඩ් හි මෙම භූමිකම්පාවේ අපිකෙන්ද්‍රය ලෙස හඳුනා ගෙන ඇත. එරට වේලාවෙන් උදෑසන 9.15ට පමණ මෙම භූමිකම්පාව සිදුව ඇත.

පළමුව මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 6ක් ලෙස සටහන්ව තිබුනත් පසුව එය රිව්ටර් මාපකයේ ඒකක 5.8ක් ලෙස සටහන්ව තිබෙන බවයි භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ. භූමිකම්පාවේ ප්‍රබලත්වය තත්ත්පර 30ක කාලයක් දැනුණු බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර සිටියේ.

භූමිකම්පාවේ ප්‍රබලත්වය කැනබරා නුවර, දකුණු ඔස්ට්‍රේලියාව, තස්මේනියාව, නිව් සවුත් වේල්ස්, සිඩ්නි ඇතුළු ප්‍රදේශ ගණනාවකට දැනුනු බව සඳහන්.

මෑත ඉතිහාසයේදී ඕස්ට්‍රේලියාවට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව මෙය බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර සිටියේ භූමිකම්පාවෙන් කිසිදු ජිවිත හානියක් සිදුවී නොමැති බවයි. එමෙන්ම ඕස්ට්‍රේලියානුවන්ට මෙය ඉතා අහඹු අත්දැකීමක් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටි බව සඳහන්.