Wednesday, April 24, 2024

General line - 0115112241

යුගදනවි බලාගාරය වසර 15 ක් යනතුරු අමෙරිකාව අතේ




කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට පවරා ඇත්තේ වසර 15 ක් සදහා බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා. ඒ, අමෙරිකානු ඩොලර් මිලියන 250 ක ගිවිසුමකට යටත්වයි. අදාළ වසර 15 න් පසු එහි අයිතිය යළි ශ්‍රී ලංකා රජයට හිමිවීමට නියමිතයි. 

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ පක්‍ෂ නායකයින් අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේදීද අවධානයට යොමුවී තිබෙනවා. ඊට එක් වූවන් පැවසුවේ මෙරට බලශක්තිය නිපදවීම වැදගත් අංශයක් විදෙස් සමාගමකට කේන්‍ද්‍රගතවීමෙන්  මතුවිය හැකි අවධානය පක්‍ෂ නායකයින් විසින් පෙන්වා දෙනු ලැබූ බවයි. ඒ අනුව මෙම ගිවිසුමට ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ සිය විරෝධය පළ කළ බවයි හවුල්කාර පක්‍ෂ නායකයින් නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මෙහිදී යුගදනවි විදුලි බලාගාරයේ කොටස් විදේශීය සමාගමකට ලබානොදී ගෑස් ලබාගත හැකි වෙනත් ක්‍රමයක් සෙවීම වඩා වැදගත් වනු ඇති බව ඊට එක්වූවන් එහිදී පෙන්වා දී තිබෙනවා. ඊට එක් වූ අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසා ඇත්තේ එවැනි ලාභදායි ක්‍රමවේදයක් පිළිබදවද සොයා බැලිය හැකි බවයි. එමෙන්ම යුගදනවි ගිවිසුම හරහා ශ්‍රී ලංකා රජයට ලාභදායි වටපිටාවක් නිර්මාණය වන බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. 

සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ මෙම ගිවිසුම හරහා අමෙරිකාව විදුලි උත්පාදනය නතර කළහොත් ශ්‍රී ලංකාවට විදුලි සැපයුම බිද වැටීමේ අවදානමක් පවතින බවයි. 

එම සාකච්ඡාව සම්බන්ධයෙන් ඊට සහභාගී වූ ශ්‍රී ලංකා කොමියනිස්ට් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ නෙත් නිවුස් වෙත පළ කළේ මෙවන් අදහසක්.

මේ අතරතුර කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙන් ලබන වසරේ සිට ලාභ ඉපැයීමේ හැකියාවක් ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පවසා තිබෙනවා. අමෙරිකානු සමාගමට අවශ්‍ය වී ඇත්තේ සියයට 40 ක කොටස් නොව ශ්‍රී ලංකාවේ එල් එන් ජී සැපයුම ලබාගැනීම බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

මෙවන් පසුබිමක යුගදනවි බලාගාරයේ ගිවිසුමට අත්සන් කළ අමෙරිකානු නිව් ෆෝට්‍රස් සමාගම නිල වශයෙන් පවසා ඇත්තේ ගිවිසුම ප්‍රකාරව කෙරවළපිටිය විදුලිබල සංකීර්ණයට ස්වභාවික වායු ගෑස් සැපයීමේ හිමිකම තම සමාගමට හිමිවන බවයි.