Saturday, April 20, 2024

General line - 0115112241

එන්නත් දෙකම ලබාගත් පිරිස එක්කෝටි පහලොස් ලක්‍ෂය ඉක්මවයි

ශානිකා ලක්මාලි




කොරෝනා මර්දන එන්නතක මාත්‍රා දෙකම මෙරටදී ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව එක් කෝටි 15 ලක්‍ෂ 11, 115 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ සයිනොෆාම් එන්නතයි. සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව අනූ එක් ලක්‍ෂ 63, 872  ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. 

තවත් පුද්ගලයන් එකලොස් ලක්‍ෂ 80,961 දෙනෙකු ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන තිබෙනවා. මොඩර්නා එන්නතේ මාත්‍රා දෙක ද පුද්ගලයින් හත් ලක්‍ෂ 59,623 දෙනෙකු මේ වනවිට ලබාගෙන අවසන්. තවත් පුද්ගලයන් දෙලක්‍ෂ 67,388 දෙනෙකු ලබාගෙන ඇත්තේ ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකයි. ස්පුට්නික් එන්නතේ මාත්‍රා දෙකම පුද්ගලයින් එක් ලක්‍ෂ 39,271 දෙනෙකු ලබාගෙන තිබෙනවා. 

මේ අතර අද දිනයේ ද ප්‍රදේශ රැසකදී කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ අනුව වයස අවුරුදු 12 ට වැඩි නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම ද අද දිනයේ ක්‍රියාත්මක වනවා. කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහල, කුරුණෑගල ශික්‍ෂණ රෝහල සහ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේදී එම දරුවන් සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණය යටතේයි. 

ඊයේ දිනයේ පමණක් නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන් 200 දෙනෙකුට ආසන්න පිරිසකට එන්නත ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛi සමිත ගිනිගේ නෙත් නිවුස් වෙත පැවසුවේ.

නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන් සදහා අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත ලබාදෙනවා. 

මේ අතර පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන ඉදිරියේදී ආරම්භ කිරීමටයි අවධානය යොමුවී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. 

වයස අවුරුදු 30 ට වැඩි පිරිසට එන්නත් ලබාදීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.