Friday, March 29, 2024

General line - 0115112241

සීමාවන්ට යටත්ව රට විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා - සෞඛ්‍ය ඇමති කියයි




එළඹෙන පළමු වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී යම් යම් සීමාවන් සහිතව රට විවෘත කිරීමට අපේක්ෂා කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

නමුත් ඒ සම්බන්ධයෙන් ලබන 30 වැනිදා තෙක් තීරණ ගත හැකි බවයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ  නිරීක්ෂණයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ  නිසි ලෙස පිළිපදිමින් කටයුතු කරන ලෙස ජනතාවගෙන් තමා ඉල්ලා සිටින බවත් එසේ සිදු කිරීම තුළින්  කොවිඩ් පාලනය සාර්ථකව සිදුකර එම සටන ජය ගැනීමට හැකි වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

සෞඛ්‍යය ක්ෂේත්‍රය උපරිම සේවාව මේ සඳහා ලබාදෙන අතරතුර පුරවැසියන්ගෙන් ඉටුවිය යුතු යුතුකම හා වගකීම  නිසි ලෙස ඉටු විය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියා. මෙය ඉතා කල්පනාකාරීව මෙන්ම උවමනාවෙන් ඉටුකල‍යුතුව ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් එසේ කරන ලෙස තමන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළා.

'ඉතාමත්ම සාර්ථකව මේ වෙනවිට කොවිඩ් පාලනය කරගෙන යනු ලබනවා. දැනට තිබෙන තත්ත්වය අනුව යම් මට්ටමකට මෙය හොද අතට හැරී තිබෙනවා. වයස අවුරුදු 30 න්  ඉහළ එන්නත්කරණයේදී එන්නත් දෙකම ලබාදීම අනුව ලෝකයේ පළමු රටවල් 10 අතර අප සිටිනවා. මේ වන විට පළමු රටවල් 03 – 04 අතරට පැමිණ තිබෙනවා. වයස අවුරුදු 20-29 අතර එන්නත්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. වයස අවුරුදු 12-19 අතර විවිධ සංකූලතා සහිත දරුවන් එන්නත්කරණය එම දරුවන් වැඩිපුර සිටින කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් ඊයේ දින ආරම්භ කළා. මේ වන විට කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තාවීම සහ මරණ ප්‍රමාණයේ අඩුවක් තිබෙනවා.' යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.