Friday, March 29, 2024

General line - 0115112241

බංග්ලාදේශය කඩුලු 04කින් පරදා ශ්‍රී ලංකාව ජය වාර්තා කරයි




අවිශ්ක ප්‍රනාන්දුගේ සහ චාමික කරුණාරත්නගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු පුහුණු තරගයෙන් කඩුලු‍ 4ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු පුහුණු තරගය වූ මෙය අබුඩාබිහිදි පැවැත්වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු‍ 7ක් දැවී ලකුණු 147ක් ලබා ගනිමින්.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සෞම්‍ය සාකාර් ලකුණු 34ක් රැස් කිරීමට සමත්වුණා. පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 27කට කඩුලු‍ 3ක් දවා ගත් අතර ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, වනිදු හසරංග හා නායක දසුන් ශානක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 148ක ජයග්‍රාහී ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු‍ 6ක් පමණක් දැවි පසුකර යාමට සමත්වුණා.

ලකුණු 148ක ඉලක්කයක් හඹා යාම සඳහා ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ කුසල් ජනිත් සහ පැතුම් නිස්සංකයි.

පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් මුළු ලකුණු සංඛ්‍යාව 18ක්ව තිබියදී ලකුණු 4කට දැවි ගියා. දෙවැනි කඩුල්ල ලෙස පැතුම් නිස්සංක දැවී ගියේ ලකුණු 15ක් ලබා සිටියදීයි.  

අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්  ලකුණු 13ක් දැවී ගියා.  වනිදු හසරංග ලකුණු 7කට දුවද්දී දැවී ගිය අතර, භානුක රාජපක්ෂ ලකුණු නොලබා දැවී ගියා.

නායක දසුන් ශානක රැස් කළේ ලකුණු 7 ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු‍ 6 ලකුණු 75ක් තුළ බිද වැටුණු අතර එහිදී බංග්ලාද්ශ පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගත්තා.

කෙසේ වෙතත් අනතුරුව පිටියේ එක් වු අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වුණා.

ඒ  7 වන කඩුල්ලට ලකුණු 73ක නොබිදුනු සබඳතාවක් ගොඩනගමින්.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගිය අවිශ්ක ප්‍රනාන්දු පන්දු 42කදී නොදැවි ලකුණු 62 රැස් කළා. ඒ  හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් සමගින්.

චාමික කරුණාරත්න පන්දු 25කදී නොදැවී ලකුණු 29ක් රැස් කිරීමට සමත්වුණා. ඒ හයේ පහරක් හා හතරේ පහරක් සමගින්.

පන්දු යැවීමේ දී සෞම්‍ය සාකාර් ලකුණු 12කට කඩුලු‍ 2ක් දවා ගත්තා.

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත් කෙරුණු මහේල ජයවර්ධනද මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව සිටින අතර ඔහු ඊයේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ගුරුහරුකම් ලබාදෙන ආකරයක්ද දක්නට ලැබුණා.
 

ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවන පුහුණු තරගය පැපුවානිව් ගිනියා කණ්ඩායමට එරෙහිව හෙට පැවැත්වීමට නියමිතයි.