Friday, April 26, 2024

General line - 0115112241

රැඳවියෙකුට පහරදුන් බන්ධනාගාර නිලධාරින් 05 දෙනෙකුට වැඩ වරදියි




රැඳවියෙකුට පහරදීමේ සිද්ධියකට අදාලව අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

එම බන්ධනාගාරයේ නියාමකවරුන් කිහිපදෙනෙකු පිටස්තර පුද්ගලයන් කිහිප දෙනෙකු සමග ඇති කර ගත් බහින් බස්වීමක් දුර දිග යාමෙන් මෙම පහර දීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම පහර දීමට සම්බන්ධ පිටස්තර පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අදාල සැකකරු අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා ඇති අතර එහිදී බන්ධනාගාර නියාමකවරුන් 05 දෙනා සම්බන්ධ වී  එම  රැඳවියාට පහර දී ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව එම නියාමකවරුන් 05 දෙනා විනය පරීක්ෂණයකට යටත්ව වැඩ තහනම් කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එක් පරීක්ෂණයක් බන්ධනාගාර මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරයෙකු සිදුකරන අතර අනෙක් පරීක්ෂණය අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා විසින් සිදුකරන බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත්  සඳහන් කළා.