Friday, April 19, 2024

General line - 0115112241

ඩොලර් 48 ක් නිසා ශ්‍රී ලංකා නාමයට ජාත්‍යන්තරයේ අප්‍රසාදයක්




ශ්‍රී ලංකාවට පැමිණි ජර්මනියට අයත් ගුවන් යානයකට මෙරට ගුවන්තොටුපළ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ අපහසුතාවක් හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරක නාමයට ඇතිවූ කළු පැල්ලමක් පිළිබඳව මේ වන විට තොරතුරු වාර්තා වනවා.

ගුවන් කලාපයේ පැවැති දැඩි අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ජර්මනියේ සිට මාලදිවයිනට මගීන් 226 දෙනෙකු සමඟ පැමිණි ගුවන් යානයක් ඉකුත් සැප්තැම්බර් 26 වනදා කටුනායක ගුවන් තොටුපළට හදිසියේ ගොඩබස්වා තිබෙනවා. ඒ, පෙරවරු 11.25 ට පමණයි. 

මාලදිවයින ගුවන් කළාපය යහපත් වූ බැවින් පස්වරු 01 ට ගුවන් යානය මෙරටින් පිටත්ව යාමට සූදානම්ව ඇත්තේ නිෂ්චිත ගාස්තු ද ගෙවීමට සූදානම් වෙමින්. 

වසර 20 කට ආසන්න කාලයක් “කොන්ඩෝර් එයාර්” නම් වූ මෙම ගුවන් සමාගම මෙරට ගුවන් මෙහෙයුම් සිදුකර නොතිබූ බැවින් ඔවුන්ට දේශීය නියෝජිතයෙකු සිට නොමැති බවටයි වාර්තා වන්නේ. එබැවින් ඊට මැදිහත්වී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක්.

ඔහුගේද මැදිහත්වීමෙන් අදාළ නියමිත ගාස්තු ගෙවීමට ජර්මන් ගුවන් සමාගම සූදානම් වුවද කටුනායක ගුවන් තොටුපළේ කාර්්‍යභාර කළමනාකරුගේ කාර්යාලයේ ඇති ක්‍රෙඩිට් කාර්ඩ් යන්ත්‍රය අක්‍රියවීම හේතුවෙන් ඔවුන්ට අදාළ ගෙවීමි සිදුකිරීමට නොහැකිවී ඇති බවයි වාර්තා වන්නේ. පසුව අදාළ ගුවන් සමාගමේ නිලධාරීන් තවත් ස්ථානයකට ගියද එහි ඇති ක්‍රෙඩිට් කාර්ඩ් යන්ත්‍රයද අක්‍රිය වී ඇතැයි ප්‍රකාශ වී තිබෙනවා. 

අවසානයේ ක්‍රෙඩිට් කාර්ඩ් යන්ත්‍රයක් සක්‍රියව ඇති ස්ථානයක් සොයාගෙන අදාළ ගෙවීමි සිදුකරන විට පස්වරු 02.15 පමණ වී තිබූ අතර ගෙවීම් සිදුකිරීමට අමතර පැයකටත් වඩා වැඩි කාලයක් ගුවන් තොටුපළ තුළ ගත කිරීමටයි ජර්මානු ගුවන් සමාගමේ නිලධාරීන්ට සිදුව ඇත්තේ. ඒ, යුරෝපීය සංචාරකයින් 226 දෙනෙකු හා ළමුන් දෙදෙනෙකු තමන්ගේ සංචාරය වෙනුවෙන් ගුවන් යානය තුළ බලා සිටියදීයි. 

ගාස්තු ගෙවා පිටව යාමට සූදානම් වන අවස්ථාවේ මෙරට ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රමාද ගාස්තු යැයි පවසා තවත් ඩොලර් 48 ක් ගෙවන ලෙස දැනුම්දී ඇති බවට ද වාර්තා වනවා. මේ සිද්ධියෙන් ද දැඩි කනස්සල්ලට පත් මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය පසුව සිය මගීන් වෙත නිවේදනය කර ඇත්තේ “ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් 48 ක මුදලකට අපව රදවාගෙන සිටි” බවයි.

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු මෙරට සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සූදානම්වන පසුබිමක වාර්තා වන මෙම සිද්ධිය මෙරට සංචාරක ව්‍යාපාරයටද බලපෑමක් එල්ලකරනු ඇතැයි පැවසෙන්නේ ජර්මනිය යනු ශ්‍රී ලංකාවට වඩාත් ආකර්ශණීය වූ සංචාරකයින් ඇති රටක් බවට පත්ව තිබීම හේතුවෙන්.