Thursday, April 25, 2024

General line - 0115112241

පළාත් අතර සංචරණ සිමා සම්බන්ධයෙන් ජනපති දුන් නියෝගය




ඔක්තෝම්බර් මස 21 වෙනිදා දක්වා දැනට ක්‍රියාත්මක කර ඇති පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීමේදීය.

ලබන ඔක්තෝම්බර් මස 19 සහ 20 යන දිනවලදී යෙදී ඇති නිවාඩු දිනයන් සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වල ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂා කිරීම්වලට ලක් කරන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් අඩු කරගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යනය කළ යුතු බවත්, තවදුරටත් රෝගීන් වාර්තා වන ප්‍රදේශ පිළිබඳ අවධානය යොමුකර අදාළ ස්ථාන හුදෙකලා කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් සඳහා එන්නත ලබාදීම අද සිට ආරම්භ කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙහිදී සඳහන් කර සිටියා. අනෙකුත් දිස්ත්‍රික්කයන්හි මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට ලබන 21 වනදා සිට පාසල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මගින් එන්නත ලබාදීමට පියවර ගෙන ඇත. 

සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව පාසල් ළමුන්ට එක් එන්නත් මාත්‍රාවක් සහ සංජනනීය රෝග සහිත දරුවන්ට එන්නත් මාත්‍රා දෙකක් ලබාදීම සිදු කෙරේ.

පාසල් ළමුන් එන්නත් කිරීමෙන් පසු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව ප්‍රතිශක්ති  වර්ධක තුන්වන මාත්‍රාව (Booster) ලබාදීමට සැලසුම් කර ඇත. ලබන සඳුදා තවත් ෆයිසර් එන්නත් මාත්‍රා  ලක්ෂ හයක් ලැබීමට නියමිත අතර මේ වන විට ඇණවුම් කර ඇති එන්නත් අඛණ්ඩව ලැබෙමින් පවතින බවත් කොවිඩ් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ.