Friday, April 19, 2024

General line - 0115112241

ASP සම්මුඛ පරීක්ෂණවලදී අසාධාරණයක් වූ පිරිසක් අධිකරණ ක්‍රියාමාර්ගයකට සැරසෙයි




සහකාර පොලිස් අධිකාරී තනතුරට තෝරා ගැනීම සඳහා පසුගියාදා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණවලදී තමන්ට අසාධාරණයක් සිදුවු බව පවසමින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් සූදානම් වනවා.

සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීම සඳහා පසුගියදා පැවති සම්මුඛ පරීක්ෂණයට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 430 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 225 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කෙරුණා.

කෙසේවෙතත් එම සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ලබා දුන් ක්‍රමවේදයේ විනිවිද භාවයක් නොමැති බවටයි චෝදනා එල්ලවන්නේ. ජේ්‍යෂ්ඨත්වයට ලකුණු 50ක්, කුසලතා සඳහා ලකුණු 40ක් සහ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල නියෝජිතයින් ලබා දෙන ලකුණු 10 ක් ලෙස එහිදී ලකුණු ලබා දෙන බව ප්‍රකාශ වී තිබෙනවා.

එහෙත් ජේ්‍යෂ්ඨත්වයෙන් සහ කුසලතාවයෙන් අඩු පිරිසකටද උසස් වීම් ලැබී ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

පොලිස් නිලධාරීන් වෙනුවෙන් පිරිනැමෙන පූර්ණ භූමි පදක්කම හිමිකරගත් නිලධාරීන් පිරිසකට මෙම සම්මුඛ පරික්ෂණයේදී ලකුණු අහිමි වී තිබෙනවා. 

ඒ, පූර්ණ භූමි පදක්කම ලබා දුන් බවට අදාල නිලධාරීන්ගේ නම් ගැසට් පත්‍රයක් මගින් පළ කර නොමැති වීම හේතුවෙන්. විශ්‍රාමික ජනාධිපති කොට්ඨාශ අංක 05, A - එක ශ්‍රේණියට අදාලව ගැසට් කර නොතිබීම හේතුවෙන් තවත් නිලධාරීන් පිරිසකට ලකුණු අහිමි වී තිබෙනවා.

විශ්‍රාමික ජනාධිපති කොට්ඨාශ අංක 04 සහ විශ්‍රාමික ජනාධිපති කොට්ඨාශ අංක 06 ගැසට් කර තිබීම හේතුවෙන් අංක 05 කොට්ඨාශයේ නිලධාරීන්ට අසාධාරණයක් සිදුව ඇති බව සම්මුඛ පරික්ෂණ සඳහා එල්ලවන තවත් චෝදනාවක්.

සහකාර පොලිස් අධිකාරී තනතුරට 230 දෙනෙකු පත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කළද උසස්වීම් ලබා දී ඇත්තේ 225 දෙනෙකුට පමණයි.

ඉතිරි පුරප්පාඩු 05 සඳහා සම්මුඛ පරීක්ෂණයේදී සමාන ලකුණු ලබා ගත් 15 දෙනෙකු සිටීම එම පුරප්පාඩු පිරවීම ප්‍රමාදයට හේතු වී තිබෙනවා.

මේ අතර පසුගියදා ලබා දුන් පොලිස් උසස්විම් සම්බන්ධයෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදි අදහස් පළ කළා.