Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද




පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අබුඩාබිහිදී අද පැවැත්වෙනවා.

ඒ, නැමීබියාවට එරෙහිවයි. එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට ආරම්භ වනවා. නැමීබියාව දකුණු ආසියානු රටකට එරෙහිව 20 යි 20 තරගයකට එක්වන පළමු අවස්ථාව මෙයයි.

අද තරගයේදී කුසල් ජනිත් සමගින් පැතුම් නිස්සංක, ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනු ඇති බවයි වාර්තා වන්නේ. දිනේෂ් චන්දිමාල් අංක 03 පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

අංක 4 පිතිකරු ස්ථානයේ අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කරන බව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියා.

අවිශ්ක ප්‍රනාන්දු අංක 4 පිතිකරු ලෙස යොදා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස නම් කළ මහේල ජයවර්ධනගේ සැලසුමක් බවයි මිකී ආතර් මෙහිදී කියා සිටියේ. මේ, අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳ අදහස් පළ කළ නායක දසුන් ශානක.

20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය සඳහා ශ්‍රී ලංකා පිළේ උපදේශකයෙකු ලෙස පත් කෙරුණු මහේල් ජයවර්ධනගේ සේවය ඉදිරි තරගවලදීත් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි දසුන් ශානක මෙහිදී සඳහන් කළේ.

මේ අතර ලසිත් මාලිංග අභිභවමින් පන්දුවාර 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුළු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් ඊයේ සමත් වුණා.

ඒ, ස්කොට්ලන්තයට එරෙහිව ඊයේ පැවැති තරගයේදී ලකුණු 18 කට කඩුළු 02 ක් දවා ගැනීමත් සමගයි. ඒ අනුව ශකීබ් අල් හසන් මේවනවිට පන්දුවාර 20 ජාත්‍යන්තර තරග 89 කට එක්වෙමින් බිදහෙලා ඇති කඩුළු සංඛ්‍යාව 108 ක්.

ලසිත් මාලිංග පන්දුවාර 20 ජාත්‍යන්තර තරග 84 කට එක්වෙමින් කඩුළු 107 ක් දවාගෙන තිබෙනවා.

මේ අතර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තවත් තරගයක් අද පස්වරු 03 යි 30 ට අබුඩාබිහිදී ආරම්භ වනවා.
ඒ, අයර්ලන්තය සහ නෙදර්ලන්තය අතරයි.