Thursday, March 28, 2024

General line - 0115112241

NDB බැංකුව මෙරට අභ්‍යන්තර හා බාහිර භාවිතය සඳහා ඩිජිටල් අත්සන් ක්‍රමයක් හඳුන්වා දෙයි




LankaClear හි  COO දිනුක පෙරේරා මහතා, LankaClear හි GM/CEO චන්න ද සිල්වා මහතා, NDB අධ්‍යක්ෂ/GCEO දිමන්ත සෙනෙවිරත්න මහතා, NDB බැංකු COO දීපාල් අකුරැටියගම මහතා, NDB බැංකුවේ ඩිජිටල් මුල්‍ය සේවා AVP දමිත සිල්වා මහතා.

NDB බැංකුව සෑම විටම ගනුදෙනුකරුවන්ට නව්‍ය විසඳුම් ලබා දීම හරහා ඩිජිටල් බැංකු ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. ඩිජිටල්කරණයේ නිම්හිම් සොයා යන මේ ගමනේදී බැංකුවේ අභ්‍යන්තර හා බාහිර භාවිතය සඳහා ඩිජිටල් අත්සන් යොදා ගත් ප්‍රථම බැංකුව බවට NDB පත් වේ.

බැංකුවේ ගනුදෙනුකරුවන්ට, අනාගත බැංකකරණය කෙසේ වේදැයි පෙන්නීම සඳහා අති නවීන තාක්ෂණයක් හා නවෝත්පාදනයන් ඒකාබද්ධ කරන NDB බැංකුව, තාක්ෂණික හා ඩිජිටල් විප්ලවයේ සෑම විටම ඉදිරියෙන්ම සිටීමට සමත්ව සිටියි. දැනට ශ්‍රී ලංකාවේ ඩිජිටල් සහතික නිකුත් කරන එකම බලයලත් සහතික කිරීමේ අධිකාරිය වන LankaSign සමඟ එක්ව, ලිපි ලේඛන භෞතිකව අත්සන් කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම සඳහා පහසු, සත්‍යාපිත, ආරක්ෂිත සහ දෝෂ රහිත ආදේශකයක් හෝ විකල්පයක් ලබා දීම මෙහි අරමුණ වේ.

මෙම ඩිජිටල් අත්සන් ක්‍රිප්ටොග්‍රැෆික් “Cryptographic” තාක්ෂණය මත පදනම් වී ඇති අතර, භෞතික අත්සනකට වඩා වැඩි ආරක්ෂාවක් සහ අත්සන් කරන්නේ නියම පුද්ගලයා බව නියතතාවයක් ලබා දෙන අතර එම නිසා අත්සන් හොරෙන් ගැසීම වලක්වයි. භෞතික ලේඛන එහා මෙහා යාමේදී වෙනස් කිරීම් වලට බඳුන් විය හැකි නමුත්, ඉලෙක්ට්‍රොනික ලේඛනයකට ඩිජිටල් අත්සන් එක් කර ඇත්නම් එය විකෘති කළ නොහැකි එකක් බවට පත් කළ හැකිය. LankaSign ඩිජිටල් සහතික සමඟ ලේඛන ඩිජිටල් ලෙස අත්සන් කිරීමෙන් සත්‍යාපනය, අඛණ්ඩතාව සහ ප්‍රතික්ෂේප නොවන බව සහතික කෙරේ.

ශ්‍රී ලංකාවේ ඉහළම ඩිජිටල් පහසුකම් ඇති බැංකුව බවට පත් වීමේ අරමුණ පෙරදැරිව NDB බැංකුවේ අධ්‍යක්ෂක/සමූහ ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය: “මෙම ක්‍රියාවලිය මඟින් අභ්‍යන්තර හා බාහිර යන දෙඅංශයම එකවර ඩිජිටල්කරණය කරමින් කඩදාසි රහිත පරිසරයක් අභ්‍යන්තරව නිර්මාණය කිරීම තුලින් ඩිජිටල් රාජ්‍යයක් නිර්මාණය කිරීමේ ජාතික මෙහෙවරට සහාය වන අතර, මෙමගින් අපගේ ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් ද සලසනවා.”

“NDB බැංකුව අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට උසස් ඩිජිටල් නවෝත්පාදනයන් හරහා අනගි සේවාවක් ලබා දීමට උත්සාහ කරනවා. මෙම නවතම විශේෂාංගයත් සමඟම, අපගේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය යහපැවැත්ම සුරක්ෂිත වන අතර දෝෂ රහිත පහසුකමක් එක් වෙනවා.”

NDB පාරිභෝගිකයින්ට LankaSign ඩිජිටල් අත්සන් හඳුන්වා දීම සඳහා NDB සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය ගැන අදහස් දක්වමින් LankaClear හි ප්‍රධාන කළමනාකරු/ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා මෙසේ පැවසීය. “LankaSign ඩිජිටල් අත්සන් වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වුණත් කොවිඩ්-19 වසංගතය පැතිරීමත් සමඟ එවැනි විසඳුමක ඇති අවශ්‍යතාවය වඩාත් ඉස්මතු වී තිබෙනවා. දුරස්ථව කටයුතු කරද්දි අනුමැතිය සඳහා භෞතික අත්සන් ලබා ගැනීමේදී ඇති වන දුෂ්කරතාවයන්ට LankaSign ඩිජිටල් අත්සන් මඟින් ආරක්ෂිත, පහසු සහ ලාභදායී විසඳුමක් ලැබෙනවා. NDB බැංකුව ඩිජිටල් අත්සන් භාවිතයට ගැනීම ගැනීම, ව්‍යාපාර ක්‍රියාවලීන් කාර්ක්ෂම හා ඵලදායි ලෙස ස්වයංක්‍රීය කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි. LankaSign ඉලෙක්ට්‍රොනික ගණුදෙනු පනතට අනුකූල වන බැවින් LankaSign ඩිජිටල් අත්සන් යොදා අත්සන් කරන ලද ලියවිලි ඉලෙක්ට්‍රොනික සාක්ෂි ලෙස උසාවියේදී පිළිගත හැකිය. මෙමඟින් බැංකුවේ සහ එහි ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ආරක්ෂා වන අතර, පාරිභෝගික ගනුදෙනු වෙත වැඩි කාර්යක්ෂමතාවයක් සහ පහසුවක් ලැබෙනු ඇත.”

බැංකුව සිය ඩිජිටල් පරිණාමයේ දී මෙරට ප්‍රථම වරට එක් කරන ලද විශේෂාංග අතරට එක්වූ තවත් අංගයක් වූයේ නවතම වීඩියෝ KYC “vKYC”  පදනම් කරගත් online ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය දියත් කිරීමයි. ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් “AI” තාක්ෂණය උපයෝගී කරගනිමින් පාරිභෝගිකයින්ට ශාඛාවකට නොගොස් නිවසේ සිටම තම ආරක්ෂාව හා පහසුව සලසා ගනිමින් NDB ගිණුම් online විවෘත කිරීමට ඉඩ සලසයි. ඊට අමතරව, ණය තොරතුරු කාර්යාංශය “CRIB” සමඟ සම්බන්ධවී ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වෙමින් NDB Neos App එක හරහා තම CRIB වාර්ථා “iReport” එසැනින් කොතැන සිටියත් ලබාගැනීමේ පහසුවද සලසා ඇත.


NDB බැංකුව අඛණ්ඩව ඩිජිටල් බැංකුකරණයේ ඉදිරියෙන්ම රැඳී සිටියේය. ඒ අනුව, 2021 හොඳම බැංකුව ලෙසත් එක්සත් රාජධානියේ බෑංකර් සඟරාව විසින් “ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව - 2020” ලෙසත් නම් කරන ලද NDB බැංකුව ඒෂියාමනි සඟරාව විසින් 2021 වසරේ සම්මාන උළෙලේදී “හොඳම ඩිජිටල් බැංකුව” ලෙස ද සම්මානයට පාත්‍ර වූයේය. NDB යනු ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත කර ඇති 4 වන විශාලතම බැංකුව වන අතර NDB සමූහයේ මව් සමාගම ද වේ. ශ්‍රී ලංකාවේ ඇති එකම මූල්‍ය සේවා සමූහය වන NDB සමූහය සිය සියලුම සමාගම් නිෂ්පාදන හා සේවා පිරිනැමීම් වෙත සිය ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දීම තුළින් ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළේ වර්ධනයට හා සංවර්ධනයට සහාය වන්නකු ලෙස සුවිශේෂී ස්ථානයකට එළැඹ සිටියි.