Friday, April 26, 2024

General line - 0115112241

අතුරුදන් වු තැනැත්තන් පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වේ (UPDATE)




අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම, පරිපාලනය කිරීම හා කර්තව්‍ය ඉටු කිරීමේ පනත් කෙටුම්පත සංශෝධනය සහිතව ඡන්දයකින් තොරව පාර්ලිමේන්තුවේදී අද (11) සම්මත වුණා.

ඒ, ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමේ දැඩි විරෝධතා මධ්‍යයේයි.

පනත දෙවනවර කියවීම ආරම්භක අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂය ඊට විරෝධය පළ කළේ විවාදය සඳහා ලබාදී තිබූ කාලය ප‍්‍රමාණවත් නොවන බව පවසමින්. මේ හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නතර කිරීමටද කථානායකවරයාට සිදුවුණා.

සභාවේ කටයුතු යළි ආරම්භ වූ අවස්ථාවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ විවාදය සඳහා අද රාත‍්‍රී 09 යි 30 දක්වා කාලය ලබා දීමට ආණ්ඩු පක්ෂය සූදානම් බවයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද එහිදී කරුණු දැක්වූ අතර ඒකාබද්ධ විපක්ෂය එයටද විරෝධය පළ කළා.

කෙසේවෙතත් මෙම විරෝධතා නොතකමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර විවාදය ආරම්භ කළා. එම අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම යළි සභාව මැදට පැමිණ අඛණ්ඩ විරෝධතාවක නිරත වුණා.

ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍ර බිමල් රත්නායක ඉන්පසුව විවාදයට එක් වුණා.

ඒකාබද්ධ විපක්ෂයට විවාදයේ අදහස් දැක්වීමේ වාරය ලැබී තිබුණේ ඉන් අනතුරුවයි.

විරෝධතා නතර කර විවාදයට එක්වන ලෙස කථානායකවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියත් විරෝධතාව අවසන් කෙරුණේ නැහැ.

කාරක සභා අවස්ථාවේ සංශෝධන සිදු කර පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය කටයුතු කරනු ලැබුවා.


සෙංකෝලය උස්සන්න පිරිසක් මාන බලන හැටි

Aug 11, 2016 @ 14:10

අතුරුදන් වු තැනැත්තන් පිළිබඳව කාර්යාලය පිහිටුවීම සම්බන්ධ පනත් කෙටුම්පත සඳහා විවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුව අද(11)රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අද පෙරවරුවේ ආරම්භ වූ පාර්ලිමේන්තු කටයුතු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සභාව මැදට පැමිණ විරෝධය දැක්වීම නිසා අත්හිටුවීමට සිදු වූ අතර යළිත් කටයුතු ආරම්භ කළේ දැඩි විරෝධතා මධ්‍යයේයි.

මේ වන විටත් පාර්ලිමේන්තුවේ සෙංකෝලය අතට ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් උත්සාහ දරමින් සිටින බවයි නෙත් නිවූස් වාර්තාකරු සඳහන් කළේ.


පාර්ලිමේන්තුව හදිසියේ අත්හිටුවයි

Aug 11, 2016 @ 12:25

අද (11) පෙරවරුවේ ආරම්භ වූ පාර්ලිමේන්තු කටයුතු හදිසියේ ඇති වූ තත්ත්වයක් නිසා මීට සුළු මොහොතකට පෙර අතහිටුවීමට සිදු වුණා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සභාව මැදට පැමිණ විරෝධය දැක්වීම ඊට හේතුවයි.