Friday, April 19, 2024

General line - 0115112241

තලෙයිබාන් සංවිධානයෙන් විදෙස් මුදල් වලට තහනමක්




ඇෆ්ගනිස්තානය තුළ විදේශීය මුදල් භාවිත කිරීම තලෙයිබාන් සංවිධානය විසින් තහනම් කර තිබෙනවා. රටේ ආර්ථික තත්ත්වය සහ ජාතික අවශ්‍යතාවය සඳහා සියලුම ඇෆ්ගනිස්ථානු වැසියන් ඔවුන්ගේ වෙළඳ කටයුතුවලදී ඇෆ්ගනිස්ථාන මුදල් භාවිතා කළ යුතු බවයි තලෙයිබාන් සංවිධානය පවසන්නේ. මෙම නියෝගය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද තලෙයිබාන් සංවිධානය අනතුරු අගවා තිබෙනවා. 

ඇෆ්ගනිස්තානය වෙළඳපල තුළ බොහෝ සෙයින් ගනුදෙනු සිදු කෙරුණේ අමෙරිකානු ඩොලරය භාවිත කරමින්. එරට දේශසීමාවල ගනුදෙනු සිදුකෙරෙන්නේ ද අමෙරිකානු ඩොලර් භාවිතයෙන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. කෙසේවෙතත් ඉකුත් අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානය තලෙයිබාන් සංවිධානයට නතු වීමෙන් පසුව ඇෆ්ගනිස්තානයට ජාත්‍යන්තරයෙන් හිමිවූ මූල්‍යමය සහයෝගය ද අහිමවී ගියා. ඒ හේතුවෙන් ඇෆ්ගනිස්තාන ආර්ථිකය මේවනවිට දරුණු කඩාවැටීමකට ලක්ව ඇති අතර රැකියා වියුක්තිය ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා.

ආර්ථිකය කඩා වැටෙමින් ඇති පසුබිමක් තුල තලෙයිබාන් සංවිධානය ගත් මෙම තීරණය ඇෆ්ගන් ආර්ථිකයට තවදුරටත් බලපෑම් එල්ල කරනු ඇති බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ. තලේබාන් සංවිධානය රටේ පාලනය අල්ලා ගැනීමෙන් පසුව, ඇෆ්ගනිස්ථානය සතුව පැවැති අමෙරිකානු ඩොලර් බිලියන ගණනක විදේශීය වත්කම් අත්හිටුවීමට අමෙරිකාව සහ යුරෝපානු බැංකු ද ඉකුත් දා පියවර ගනු ලැබුවා. 

කෙසේවෙතත් බොහෝ ඇෆ්ගනිස්තාන වැසියන්ට ආහාර ඇතුළු මූලික අවශ්‍යතා හෝ සපුරා ගැනීමට නොහැකිව සිටිනවා. මේ හේතුවෙන් ඔවුන් සිය පවුලේ සිටින කුඩා ගැහැණු දරුවන් මුදලට අලෙවි කිරීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කළේ.