Friday, March 29, 2024

General line - 0115112241

වනිදුගෙන් ලෝක වාර්තාවක් - ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහී සමුගැනීමක්




පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ පැවත‘ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලකුණු 20 කින් පරාජය කරමින්. 

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර 20 දී කඩුලු 03 ක් දැවී ලකුණු 189 ක් රැස් කළා. එහිදී චරිත් අසලංක පන්දු 41 කදී ලකුණු 68 ක් ද, පැතුම් නිස්සංක පන්දු 41 කදී ලකුණු 51 ක් ද රැස් කිරීම කැපී පෙනුනා. චරිත් මෙවර ලෝක කුසලානයේදී වාර්තා කළ දෙවන අර්ධ ශතකය මෙය වන අතර පැතුම් මෙවර ලෝක කුසලානයේදී වාර්තා කළ තුන්වන අර්ධ ශතකය මෙයයි. ඔවුන් දෙවන කඬුල්ල වෙනුවෙන් පන්දු 61 ක් තුළ ලකුණු 91 ක සබඳතාවක් ගොඩනැගීම තරඟයේ තීරණාත්මක සාධකය වුණා. 

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 20 දී කඬුලු 08 ක් දැවී රැස් කර ගත්තේ ලකුණු 169 ක් පමණයි. එහිදී නිකොලස් පුරාන් ලකුණු 46 ක් සහ ශිම්රෝන් හිට්මයර් නොදැවී ලකුණු 81 ක් රැස් කළද එය කොදෙව් ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නැහැ. සෙසු කිසිදු කොදෙව් පිතිකරුවෙකුට ලකුණු 09 යේ සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා නොදීම ද විශේෂත්වයක්. යළිත් දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 19 කට කඬුලු 02 ක් බිඳ හෙළුවා.

වනිදු හසරංග බිඳ හෙලූ මෙම කඩුලු 02 ත් සමඟ මෙවර තරඟාවලිය පුරා ඔහු බිඳ හෙළා ඇති සමස්ථ කඬුලු සංඛ්‍යාව 16 ක්. එය සැලකෙන්නේ කිසියම් පන්දුයවන්නෙකු පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලානයකදී දවා ගත් වැඩිම කඬුලු සංඛ්‍යාව ලෙසයි. ඔහු මෙලෙස බිඳ හෙලුවේ 2012 වසරේදී කඬුලු 15 ක් බිඳ හෙළමින් අජන්ත මෙන්ඩිස් පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි. සිය මංගල ලෝක කුසලාන ක5ිකට් තරඟාවලියට සහභාගී වූ තවමත් 24 වන වියේ පසුවන වනිදු හසරංගගේ දක්ශතා ක්‍රීඩා විචාරකයින්ගේ පැසසුමට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව හමුවේ ලැබූ පරාජයත් සමඟ වත්මන් 20 යි විස්ස ලෝක ශූරයින් වන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ මෙවර ලෝක කුසලාන සිහිනය බොඳවී ගියා. ගේල්, බ්‍රාවෝ, රසල් සහ පොලාඩ් වැනි 20 යි විස්ස පිටියේ දක්ශ ක්‍රීඩකයින් සිටියද ඔවුන්ට 20 යි විස්ස කිරුළ කොදෙව් රට තුළ තබා ගැනීමට නොහැකි වී ගියේ ජාත්‍යන්තරයේ කතාබහක් ද මතු කරමින්.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා පිළ ඊයේ රාත්‍රියේ සමුගෙන ගියද අනාගත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සුබ ලකුණු කිහිපයක් මෙවර තරඟාවලිය ඔස්සේ මතුවීම කැපී පෙනෙන තත්ත්වයක්.