Thursday, March 28, 2024

General line - 0115112241

තෙල් බවුසරයක් පිපිරීමෙන් සියරා ලියෝන් රාජ්‍යයේ 91 මරුට




සියරා ලියෝන් රාජයයේ ෆ්‍රීටවුන් අගනුවර්දී ඉන්ධන බවුසරයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 91 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එම ඉන්ධන බවුසරය ලොරි රථයක ගැටීමෙන් අනතුරට පත්ව අනතුරුව පුපුරා ගිනිගෙන ඇති බවයි. අනතුර සිදුව ඇත්තේ ජනාකීර්ණ පොදු වෙළද සංකීර්ණයක් ආසන්නයේයි. 

අනතුර සිදුවන අවස්තාවේ පොදු වෙළද සංකීර්ණය ජනයාගෙන් පිරී තිබී ඇති අතර අසල මාර්ගවලද රථවාහන රැසක් ධාවනය වෙමින් තිබී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඉන්ධන බවුසරය පිපිරී හටගත් ගින්නෙන් කඩ සාප්පු හා කුඩා වෙලදසැල් රැසක් මෙන්ම රථවාහන රැසක් ද ගිනිගෙන තිබෙනවා. ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කලේ මගීන්ගෙන් පිරී පැවැති බස් රථයක් ද සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති බවයි. අනතුරින් පිලිස්සී මිය ගිය පුද්ගලයින් රැසකගේ සිරුරු මාර්ගය පුරා වැටී ඇති අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. 

සියරා ලියෝන්හි ජනාධිපති ජූලියස් මාඩා බයෝ පැවසුවේ සිද්ධිය වාර්තා වීමත් සමග තමන් මහත් කම්පනයට පත් වූ බවයි. අනතුරින් විපතට පත් පුද්ගලයින්ගේ පත් වූ පුද්ගලයින්ගේ පවුල්වලට කල හැකි සෑම උපකාරයක් ම සිදු කරන බව ද ඔහු සදහන් කළා. අනතුරින් තවත් පුද්ගලයින් 100 ක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් පිලිස්සුම් තුවාල ලැබූවන්. මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.