Saturday, April 20, 2024

General line - 0115112241

චීනය තායිවානය ආක්‍රමණය කළ හැකි කාලය ගැන අනාවැකියක්




වත්මන් ජනාධිපතිනි ත්සායි ඉන්ග් වෙන්ග්ගේ පාලන කාලය තුළ චීනය විසින් තම රටට එරෙහිව ආක්‍රමණයක් සිදුනොකරනු ඇති බවට තායිවානය පවසනවා.

තායිවානයේ ජාතික ආරක්ෂක බියුරෝවේ ප්‍රධානී චෙන් මින්ග් ටොන්ග් පවසන්නේ 2024 මැයි මාසය දක්වා වන ජනාධිපතිනියගේ පාලන කාලය තුළ චීනය විසින් තම රට ආක්‍රමණය නොකරනු ඇති බවයි.

කෙසේවෙතත්, මෙම කාලය තුළ චීනය විසින් විවිධ උපායමාර්ග භාවිතා කරමින් තායිවානයට එරෙහිව කටයුතු කරනු ඇති බවද ඔහු පවසනවා.

විශේෂයෙන් චීනය විසින් ඉදිරි කාලයේදී තායිවානයේ සාගර සීමාවන් අවහිර කිරීමට ද ඉඩ ඇති බවයි තායිවාන ජාතික ආරක්ෂක බියුරෝවේ ප්‍රධානී චෙන් මින්ග් ටොන්ගේ අදහස වී ඇත්තේ.

චීනය  විසින් තම රටට අයත් බවට ප්‍රකාශ කරන තායිවානයේ පාලනය සියතට ගැනීම සදහා නුදුරේදීම ආක්‍රමණයක් දියත් කරනු ඇති බවට පසුගිය  දිනවල වාර්තා පළවුණා. 

මෙහිදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් තායිවානය ආරක්ෂා කිරීමට මැදිවත් වන බවට කළ ප්‍රකාශයන් හේතුවෙන් ලෝක දේශපාලනය තුළ මේ සම්බන්ධයෙන් උණුසුම් කතාබහක්ද නිර්මාණය වුණා.

මේ අතර චීනය විසින් තම ගුවන් හමුදා යානා යොදාගෙන තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීම පසුගිය කාලසීමාවේදී කැපීපෙනෙන ලෙස ඉහළ,ගොස් ඇති බව සදහන්.

තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ චීනය ගුවන් හමුදා යානා 190ක් පමණ පසුගිය, ඔක්තෝබර් මාසයේ අවස්ථා කිහිපයකදී තම ගුවන් සීමාව ආක්‍රමණය කර ඇති බවයි.