Saturday, April 20, 2024

General line - 0115112241

පාකිස්ථානය අපරාජිතව ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයට




20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහභාගී වූ 5 වන තරගයද ජය ගැනීමට පකිස්තාන කණ්ඩායම ඊයේ සමත් වුණා.  ඒ, ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු 72 කින් ජය ගැනීමත් සමගයි. 

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුණු 189 ක් රැස් කළා. බාබර් අසාම් ලකුණු 66 ක් රැස් කළේ පන්දු 47 කට මුහුණ දෙමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත්. සොයිබ් මලික් පන්දු 18 කට මුහුණදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 ක්. ඊට හයේ පහර 6 ක් සහ එක් හතරේ පහරක් ද අයත්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී කඩුළු 6 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 117 ක් පමණයි. රිචී බෙරින්ටන් නොදැවී ලකුණු 54 ක් රැස් කළා. සෙසු ක්‍රීඩකයන් කිසිවෙකුටත් ලකුණු 17 සීමාව පසුකර යාමට පකිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. පන්දු යැවීමේදී ශඩාබ් ඛාන් කඩුළු 2 ක් දවා ගත්තා. ශහීන් ෂාහ් අෆ්රිඩි, හැරිස් රාවුෆ් සහ හසන් අලී අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.