Thursday, March 28, 2024

General line - 0115112241

මුල් පෙළ දුර්වලයි : ධනුෂ්ක, කුසල්-නිරෝෂන් නැවත කණ්ඩායමට කැඳවන්න - කිරිඇල්ල ගේ ඉල්ලීමට ක්‍රීඩා ඇමති දුන් පිළිතුර




දැනට තරග තහනමක් පනවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනෙකු නැවත ජාතික කණ්ඩායමට කැඳවීම පිළිබඳව සලකා බලන ලෙස සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගෙන් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරනු ලැබුවා.

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගවාලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් ඉතා දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරනු ලැබූ බවත්, තරගයේ පළමු ඕවර් කිහිපයේ දී කඩුලු බිඳ වැටුණු බව පැවසූ මන්ත්‍රීවරයා, දැනට තරග තහනමකට ලක්ව සිටින ක්‍රීඩකයින් තිදෙනා දක්ෂ බැවින් 2022 වර්ෂයේදී නැවත ලෝක කුසලාන තරගාවලියකට සහභාගිවීමට නියමිත බැවින් මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස ඔහු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කර සිටියා.

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ ඇමතිවරයා කියා සිටියේ විනය සම්බන්ධයෙන් වන කාරණාව මුලික කරගෙන මෙම තහනම පනවා ඇති බවයි.

“විනය ක්‍රියාමාර්ගය හරියට අනුගමනය නොකිරීම නිසා ඔබේම දේශපාලන පක්ෂයට සිදු වූ දේ ඔබට තේරෙනවා. අපේ ක්‍රිකට් කණ්ඩායමට එහෙම වෙන්න දෙන්න බෑ. අපි විනය පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලනය විසින් කමිටුවක් පත් කර ඇති අතර එය මේ වනවිට ඒ සම්බන්ධයෙන් වන  කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තියෙනවා. දේශීය තරග තහනම අවසන් වූ පසු ඔවුන්ට ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට සහභාගි විය හැකිය. ඔවුන්ට වසරකින් පසුව නැවත ජාත්‍යන්තර තරගාවලි සඳහා ඉදිරිපත් විය හැකියි."

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක මේ වසර මුලදී එංගලන්ත සංචාරයේ යෙදී සිටියදී නිරෝධායන සීමාවන් උල්ලංඝනය කළ බවට අනාවරණය වීම හේතුවෙන් ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් තරග තහනමක් පනවනු ලැබුවා.