Saturday, April 20, 2024

General line - 0115112241

20 යි 20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව ගැටුම අද රාත්‍රියේ




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අබුඩාබි හිදි අද පැවැත්වෙනවා. ඒ, එංගලන්තය සහ නවසීලන්තය අතරයි. මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7 යි 30ට ආරම්භ වනවා. 

සුපිරි 12 දෙනාගේ වටයේ දී පළමු කාණ්ඩයෙන් තරග වැදුණු එංගලන්තය එම කාණ්ඩයේ පෙරමුණ ගත්තේ තරග 5කට එක්වී තරග 4ක් ජය ගනිමින්. සුපිරි 12 දෙනාගේ වටයේදී 2 වන කාණ්ඩයෙන් තරග වැදුණු නවසීලන්තය තරග පහකට එක්වෙමින් තරග 4ක් ජය ගනිමින් එම කාණ්ඩයේ දෙවන තැන හිමිකර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. 

නවසීලන්තය සහ එංගලන්තය පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ මේ දක්වා අවසන් පූර්ව තරග 2 බැගින් සහභාගි වී තිබෙනවා. නවසීලන්ත කණ්ඩායම  2007 සහ 2016 වසරවල පැවති පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලි හිදි අවසන් පූර්ව තරග සදහා එක් වූ අතර එම තරග දෙකම ඔවුන් පරාජයට පත්ව තිබෙනවා. 

ඒ අනුව නවසීලන්තය අද තරගයට පිවිසෙන්නේ පලමු වරට පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයකට පිවිසීමේ අපේක්ෂාවෙන්. එංගලන්ත කණ්ඩායම අවසන් වරට පැවැති පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලි 2 දී අවසන් පූර්ව වටයට සුදුසුලබා ගත් අතර ඔවුන් 2010 වසරේදී පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක ශූරයන් බවටද පත්වුණා. 

අවසන් වරට 2016 වසරේ ඉන්දියාවේ පැවැති පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේදී අනුශූරයන් වූයේද එංගලන්ත කණ්ඩායමයි.  

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පාකිස්තානය සහ ඔස්ටේ්‍රලියාව අතර ඩුබායි හිදි හෙට පැවැත්වීමට නියමිතයි. පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නොමැති අවසන් පූර්ව වටයක් පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්.