Saturday, April 20, 2024

General line - 0115112241

තියුණු ජයක් ලබමින් නවසීලන්තය විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් සටනට




මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ අබුඩාබි හි පැවති පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්ත කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්. 

නවසීලන්ත කණ්ඩායම පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට පිවිසි පළමු අවස්ථාව මෙය වනවා. නවසීලන්ත පිලේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලු 4ක් දැවි ලකුණු 166ක් රැස් කිරීමට සමත්වුණා.  

මොයින් අලි පන්දු 37කදි නොදැවී ලකුණු 51යි. ඩාවිඩ් මලාන් පන්දු 39කදී ලකුණු 41ක් රැස් කළා. පන්දු යැවීමේ දී ටිම් සවුති, ඇඩම් මිල්න්, ඉෂ් සෝදි හා ජේම්ස් නීෂම් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා. 

ලකුණු 167ක ඉලක්කය නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවි පසුකර යාමට සමත්වූ අතර ඔවුන් ඒ සදහා වැය කළේ පන්දුවාර 19ක් පමණයි. තරගය ජය ගැනීම සදහා නවසීලන්ත කණ්ඩායමට අවසන් පන්දු 24 දී ලකුණු 57ක් ලබාගත යුතුව තිබුණා.

තරගයේ වැඩි වාසි එංගලන්ත පිලට නතු වී තිබුණද ජේම්ස් නීෂම් පන්දු 11කින් වේගවත් ලකුණු 27ක් රැස් කිරීමත් සමග නවසීලන්ත පිලට ජය මාවත විවර වුණා.   නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය ආරම්භක පිතිකරු ඩැරල් මිචෙල් පන්දු 47කින් ලකුණු 72ක් නොදැවී ලබා ගැනීමට සමත් වුණේ හයේ පහර හා හතරේ පහර 4 සමගින්.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් හා ලියම් ලිවින්ග්ස්ටන් කඩුලු 2 බැගින් බිද හෙලුවා. මෙම ජයග්‍රහණයත් සමග නවසීලන්ත පිල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවසන් වරට සංවිධාන කළ තරගාවලි 3කදී අඛණ්ඩව අවසන් මහ තරග සදහා සුදුසුකම් ලබා තිබෙනවා.  2019 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අනුශූරයින් වූ නවසීලන්තය  2021 ලෝක ටෙස්ට් ශූරතාවද තමන් සතු කර ගත්තා.

මේ අතර මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඩුබායි හිදි අද පැවැත්වෙනවා. ඒ පාකිස්තානය සහ ඔස්ටේ්‍රලියාව අතරයි. එම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රි 7 යි 30 ආරම්භ වනවා.