Thursday, March 28, 2024

General line - 0115112241

යුරෝපායේ ගෑස් ප්‍රශ්නය උග්‍ර වෙයි




යුරෝපයට සිදුකෙරෙන ගෑස් සැපයුම අත්හිටුවන බවට බෙලරූස් රාජ්‍යය අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, යුරෝපා සංගමය හා බෙලරූස් රාජ්‍යය අතර දේශසීමා සම්බන්ධයෙන් උද්ගත වී ඇති අර්බුදය හමුවේයි. බෙලරූස් රාජ්‍යයේ බටහිර දේශසීමාව සම්බන්ධයෙනුයි යුරෝපා සංගමය හා බෙලරූස් රාජ්‍යය අතර අර්බුදයක් හටගෙන ඇත්තේ. 

ඒ අනුව දේශසීමා අර්බුදය පදනම් කර ගනිමින් සිය රටට සම්බාධක පැනවීමට කටයුතු කළහොත් යුරෝපයට සිදුකෙරෙන ගෑස් සැපයුම අත්හිටුවන බවට බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අවධාරණය කළා. 

බෙලරූස් රාජ්‍යය හා යුරෝපා සංගමය අතර මෙම දේශසීමා අර්බුදය හටගෙන ඇත්තේ බෙලරූස් රාජ්‍යයේ දේශසීමාවේ සිට පෝලන්තය හා ලිතුවේනියාව හරහා යුරෝපයට ඇතුළුවන සංක්‍රමණිකයින් පසුබිම් කරගෙනයි.  ඒ අනුව යුරෝපයට ඇතුළුවීමට ඉරාකය, සිරියාව සහ යේමනය යන රටවලින් බෙලරූස් රාජ්‍යයට ගුවන් මගින් පැමිණ සිටින දහස් ගණන් සංක්‍රමණිකයින් දැඩි ශීත කාලගුණය ද නොතකා පෝලන්ත දේශසීමාව ආසන්නයේ මේවනවිටත් රැඳී සිටිනවා. 

එලෙස අනවසරයෙන් යුරෝපයට ඇතුළුවීමට උත්සහ කරන සංක්‍රමණිකයින්ට සහය දෙමින් බෙලරූස් රාජ්‍යය, යුරෝපයේ ආරක්ෂාව අවදානමකට ඇද දමමින් ඇති බවටයි යුරෝපා සංගමය චෝදනා නගන්නේ. කෙසේවෙතත් බෙලරූස් ජනාධිපතිවරයා එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළා. 

දේශසීමා අර්බුදය පදනම් කර ගනිමින් තවදුරටත් සිට රටට බලපෑම් එල්ල කිරීමට උත්සහ කළ හොත් රුසියාවේ සිට සිය රට හරහා යුරෝපයට සිදුකෙරෙන ගෑස් සැපයුම අත්හිටුවන බවයි බෙලරූස් ජනාධිපතිවරයා පැවසුවේ. එබැවින් සිය රටට එරෙහිව වාග් ප්‍රහාර එල්ල කිරීමට පෙර ගෑස් සැපයුම අත්හිටුවුවහොත් සිදුවන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් සිතා බලන ලෙයසි බෙලරූස් රාජ්‍යය පෝලන්තයට හා ලිතුවේනියාවට අනතුරු අගවා සිටියේ. 

බෙලරූස් ජනාධිපතිවරයා යුරෝපයට එලෙස ප්‍රබල අනතුරු ඇගවීමක් සිදුකරන්නේ යුරෝපය තුළ මේවනවිටත් ස්වභාවික ගෑස් හිගයක් පවතින පසුබිමක් තුළයි. එමෙන්ම යුරෝපය තුළ මේවනවිට ගැස් මිල ඉහළ යමින් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.