Tuesday, April 23, 2024

General line - 0115112241

සුපිරි ජයග්‍රහණයකින් ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයේ අවසන් තරගයට




පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.  ඒ, කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි එතෙක් කිසිඳු තරගයක් පරාජයට පත් නොවී සිටි පකිස්තානය කඩුළු 05 කින් පරාජයට පත් කරමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04 ක් දැවී ලකුණු 176 ක් රැස් කළා. මොහොමඩ් රිස්වාන් ලකුණු 67 යි. ෆකර් සමාන් නොදැවී ලකුණු 55 යි. ලකුණු 177 ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාව කඩුළු 05 ක් දැවී 19 වන පන්දුවාරයේදී සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තා. 

ජයග්‍රහණයට මූලික අඩිතාලම දැමූ ඩේවිඩ් වෝනර් වේගවත් ලකුණු 49 ක් රැස් කළා. එහෙත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුළු 03 ලකුණු 77 ක් තුළ බිඳ වැටුණා. නමුත්, අවසන් පන්දු 40 දී 06 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක විශිෂ්ඨ සබඳතාවක් ගොඩනැගූ මැතිව් වේඩ් සහ මාකස් ස්ටොනික්ස් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියා. 

එතෙක් තරගයේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්ව සිටි ශාහීන්ශා අෆ්රිඩී යැවූ 19 වන පන්දු වාරයේදී මැතිව් වේඩ් ලබාදුන් උඩ පන්දුවක් හසන් අලී අතින් ගිලිහී යාම තරගයේ තීරණාත්මකම අවස්ථාවයි. 

ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් මැතිව් වේඩ් 19 වන පන්දු වාරයේදී ලකුණු 22 ක් රැස්කළේ පිට පිට 06 යේ පහර 03 ක් ද එල්ල කරමින්. පන්දු යැවීමේදී පකිස්තානයේ ෂඩාබ් ඛාන් ලකුණු 26 කට කඩුළු 04 ක් බිඳ හෙලුවා. 

එය පන්දුවාර ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් පූර්ව තරගයකදී වාර්තා වූ හොඳම පන්දු යැවීමයි. එමෙන්ම පකිස්තානයේ මොහොමඩ් රිස්වාන් මෙම තරගයේදී පන්දුවාර 20 පිටියේ මෙම වසරේදී ලකුණු දහසේ සීමාව පසුකළ අතර කිසියම් පිතිකරුවෙකු වසරක් තුළ පන්දුවාර 20 පිටියේ ලකුණු 1000 පසුකළ පළමු අවස්ථාව මෙයයි. 

අබුඩාබි ක්‍රීඩා පිටියට රැස්ව සිටි දහසකුත් පකිස්තානුවන්ගේ බලාපොරොත්තු සුන්කළ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සමගින් ලබන ඉරිදා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී මුණ ගැසෙනු ඇති.