Wednesday, April 24, 2024

General line - 0115112241

මහ කන්නයේ වගාව අවිනිශ්චිතයි




ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මේ වන විට මුහුණ පා තිබෙන දැඩි අර්බුදකාරී තත්වය හමුවේ තෝරාගත් කෘෂි රසායන ප්‍රමාණයක් ආනයනය සදහා අවසර දීමට ක්‍රියාකරමින් සිටියද එමගින් දේශීය කෘෂි ක්ෂේත්‍රයේ සංකීර්ණ අවශ්‍යතා ඉටු කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රොප් ලයිෆ් සංවිධානය සදහන් කරයි.මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ මේ පිලිබද අවස්ථා කිහිපයකදීම  බලධාරීන් දැනුවත් කර ඇති බවයි.

වී හා බඩ ඉරිගු ඇතුළු දේශීය කෘෂි කර්මාන්තයේ බොහොමයක් භෝග වගාවන් සදහා මේ වන විට වල් නාෂක වල අවශ්‍යතාවයක් පවතින බව පෙන්වා දෙන එමහ සංවිධානය සදහන් කරන්නේ කෘෂි රසායන පිළිබද වත්මන් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමක් සමග ශ්‍රී ලංකාව තුළ භාවිතය තහනම් කර තිබෙන කෘෂි රසායන වර්ග නීත්‍යානුකූල නොවන ක්‍රම ඔස්සේ  ගොවි ජනතාව අතර වේගයෙන් ව්‍යාප්ත වන බවයි.

ශ්‍රී ලංකාව තුළ භෝග ආරක්ෂණ ද්‍රව්‍ය ලියාපදිංචි කිරීම ආනයනය සහ බෙදා හැරීම සිදුකරන සියළු පාර්ශව කරුවන්ගේ ඒකාබද්ධ සංවිධානය වන ක්‍රොප් ලයිෆ් සංවිධානය විසින් දේශීය කෘෂි කර්මාන්තයට අවශ්‍ය බෝග ආරක්ෂණ 150 කට අධික ප්‍රමාණයක් පළිබෝධ නාෂක රෙගුලාසි වලට අනුව ගොවි ජනතාව වෙත ලබාදීම සිදු කරයි.වත්මන් කෘෂි කාර්මික ප්‍රතිපත්තිය හදුන්වා දීමත් සමග ශ්‍රී ලංකාවේ විවිධ වගාවන්ට අවශ්‍ය මෙම කෘෂි රසායන නිෂ්පාදන ආනයනය කිරීම පසුගිය අප්‍රෙල් 27 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලදි.

ඒ අනුව මේ වන විට පවතින කෘෂි රසයාන හිගයත් සමග එළැඹි මහ කන්නයේ වගා කටයුතු වලට යොමු වීම පිළිබද ගොවීන්ගේ දැඩි පසුබෑමක් පවතින බව එම සංවිධානය ප්‍රකාශ කරයි.මෙය භයානක තත්වයක් බවත් එය රටේ ඉදිරි කාලයේ ආහාර සුරක්ෂිතතාවයට සෘජු ලෙස බලපාන බව පෙන්වා දෙන එම සංවිධානය සදහන් කරන්නේ එළැඹි මහ කන්නයේ වගාවන් සාර්ථකව සිදුකිරීමට අත්‍යාවශ්‍යව පවතින වල් නාෂක කෘමි නාෂක දිලීර නාෂක හා බීජ ප්‍රතිකාරක පෙර පැවති ක්‍රමවේද සහ බෙදා හැරීම් ජාලය ඔස්සේ ගොවි ජනතාවට ලබාදීම සදහා බලධාරිනි යුහුසුළුව කටයුතු කළ යුතු බවයි.