Thursday, March 28, 2024

General line - 0115112241

ප්‍රබල සුළි කුණාටුවක් නිසා කැනඩාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ




ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් කැනඩාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ කුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට එලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි. 

ඇද හැලෙමින් ඇති ප්‍රභල වර්ෂාපතනයත් සමග බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ගංගාවල ජල මට්ටම් ඉහල ගොස් ඇති අතර ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවයි පැවසෙන්නේ. කුණාටුවේ බලපෑමෙන් හා ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිස් මුදා ගැනීම සදහා හමුදාව යොදවා තිබෙනවා. 

අධිවේගී මාර්ග ද ඇතුලුව මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බැවින් සහන මෙහෙයුම් සදහා බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. මාර්ග ඔස්සේ ලඟාවීමට අපහසු ප්‍රදේශ වල ආපදාවට පත්ව සිටින පිරිස්වලට අවශ්‍ය ආහාර ඇතුලු අත්‍යවශය ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු හෙලිකොප්ටර් යානා මගින් සිදු කෙරෙනවා. 

කඳුකර ප්‍රදේශවල සිරවී සිටින පිරිස් මුදා ගැනීම ද හෙලිකොප්ටර් යානා මගින් සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ. 

බොහෝ පිරිසක් නායයාමේ අවදානමට ලක්ව සිටින අතර කදුකර ප්‍රදේශවල සිරවී සිටින සංචාරකයින් මුදා ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මකයි. නායයාම් හේතුවෙන් මේ වනවිටත් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා. ආපදාවලින් සිදුව ඇති ජීවිත අනතුරු පිළිබද පැවසීමට තවමත් කල් වේලා වැඩි බවයි බ්‍රිටිෂ්  කොලොම්බියා බලධාරීන් පවසන්නේ.

බ්‍රිටිෂ්  කොලොම්බියා ප්‍රාන්තය මෑත කාලයේ සිට ස්වාභාවික විපත් රැසකට ලක් වෙමින් තිබෙනවා. 

අධික උෂ්ණත්වය, ලැව්ගිනි, ජල ගැලීම් හා නායයෑම ඒ අතරින් ප්‍රධානයි.