Friday, March 29, 2024

General line - 0115112241

කොවිඩ් නිසා යුරෝපය යළි රතු වෙයි - රටවල් කිහිපයකටම යළි සීමා




යුරෝපය තුළ යලිත් කොවිඩ් රැල්ලක අවදානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ හමුවේ රටවල් කිහිපයක්ම නව සීමා පැනවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. එළඹෙන නත්තල් උත්සවයට පෙර යුරෝපය තුල නව කොවිඩ් රැල්ලක් ඇතිවීම වලක්වා ගැනීම යුරෝපා රටවල අරමුණයි.

මේ අතර ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත් 4 වන කොරෝනා රැල්ලකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජර්මානු චාන්සලර් ඇන්ජලා පැවසුවා. විදෙස් මාධ්‍ය පවසන්නේ ජර්මනියෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් ගණන යලිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක් තුල චාන්සලර්වරිය මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇති බවයි.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමට නව සීමා පැනවීම සම්බන්ධයෙන් වන යෝජනාවලියක්ද ජර්මානු පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන තිබෙනවා. නව සීමාවට අනුව කොරෝනා මර්දන එන්නත් ලබාගත් පුද්ගලයින් සහ කොරෝනා පරීක්ෂණවලට ලක්වූවන්ට පමණක් පොදු ප්‍රවාහන සේවා හා රැකියා ස්ථාන වලට ඇතුලු වීමට අවසර ලබා දීමටයි යෝජනා වී ඇත්තේ. ජර්මනියේ අවුරුදු 18 වැඩි සියලු දෙනාට ද බූස්ටර් මාත්‍රාව ලබා දීමට නියමිතයි.

මේ අතර පෝලන්තයේත් දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහල යමින් තිබෙනවා. 
මේ වනවිට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මීට සතියකට පෙර වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාවෙන් සියයට 30 ක ඉහල යාමක් බවයි වාර්තා වන්නේ.

මේ අතර බෙල්ජියමෙන්ද දෛනිකව වාර්තා වන කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව යලි ඉහල ගොස් තිබෙනවා. ඒ හමුවේ එරට වැසියන්ට නව කොරෝනා සීමා හදුන්වා දීමට බලධාරීන් කටයුතු කලා. එම සීමාවන්ට අනුව අවුරුදු 10 ට වැඩි සියලු දරුවන් සංවෘත ස්තානවලදී මුඛ ආවරණ පැලදිය යුතු වනවා. 

එසේම එරට සේවා නියුක්තිකයින් සියලු දෙනා සතියකට දින 4 බැගින් නිවෙස් වල සිට රාජකාරී කල යුතුයි. එලඹෙන අප්‍රේල් මාසයට පෙර සුදුසුකම්ලත් සියලු වැසියන්ට බූස්ටර් මාත්‍රාව ලබා දීමට ද නියමිතයි. රට වසා දැමීමකින් තොරව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට උත්සහය ගන්නා බවයි බෙල්ජියම් රජය පැවසුවේ.