Friday, March 29, 2024

General line - 0115112241

වසර 25 කට පසු පාපන්දුව ඉතිහාසගත කිරීමට ශ්‍රී ලංකාවට අද අවස්ථාව




අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය කොළඹ තුරඟ තරඟ පිටියේදී අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ, සත්කාරක ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් කණ්ඩායම අතරයි. මෙම තරඟය රාත්‍රී 07 ට ආරම්භ වනවා. 

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අන්තර්ජාතික පාපන්දු තරඟාවලියක අවසන් මහා තරඟය සඳහා එක් වන්නේ වසර 15 කට පසුවයි. ශ්‍රී ලංකා පාන්දු කණ්ඩායම අවසන් වරට එවැනි දස්කමක් දක්වා තිබුණේ 2006 වසරේ කොළඹ පැවති දකුණු ආසියානු පාපන්දු තරඟාවලියේදීයි. 

ශ්‍රී ලංකා පාන්දු කණ්ඩායම අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 204 වන ස්ථානයේ පසුවන අතර, සීෂෙල්ස් කණ්ඩායම එම සටහනේ පසුවන්නේ 199 වන ස්ථානයේයි. 

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද තරගය ජයගතහොත් ඔවුන් වසර 25 කට පසු අන්තර්ජාතික තරගාවලියක ශූරතාවය දිනා ගන්නා පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසගතවනු ඇති. ශ්‍රී ලංකා පාපන්දු කන්ඩායම අවසන් වරට ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක ශූරතාව දිනා ගත්තේ 1995 වසරේදියි. 

එම වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවති දකුණු ආසියානු පාපන්දු ශූරතාව ශ්‍රී ලංකාව අවසන් වරට දිනා ගත් ජාත්‍යන්තර පාපන්දු ශූරතාව වනවා. අද පැවැත්වෙන අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ  සහභාගීවීමට නියමිතයි.