Friday, April 19, 2024

General line - 0115112241

පැටලුණු නූල් බෝලයක් බවට පත්වූ පකිස්තානයේ ඉමිරාන් ඛාන් පාලනය




ඉම්රාන් ඛාන්  පාකිස්ථානයේ පාලනය බාර ගත්තේ අපේක්ෂාවන් රැසක් එරට ජනතාව තුළ දල්වමින්. දීර්ඝ කාලයක්  මිලිටරිකරණයෙන් සහ දූෂණයෙන් ඔද්දල් වුනු පාකිස්තාන පාලන තන්ත්‍රය වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ජනහිතකාමී ප්‍රවේශයකට රැගෙන යනු යාමේ වගකීම පාකිස්තානුවන් රිදී බන්දේසිය බහා ඉම්රාන් ඛාන් ට බාර දුන්නේ දෙවරක් නොසිතාමයි.

නමුත් කාලයාගේ ඇවෑමෙන් පාකිස්තානුවන් යලි අත්විඳිමින් සිටින්නේ සුපුරුදු "පාකිස්තාන පාලනය" මිස අන් කවරක් වත් නොවෙයි.

කලාපීය ත්‍රස්තවාදීන්ගේ තොටිල්ල බවට එල්ල වන චෝදනාවෙන් පාකිස්තානය ගලවා ගැනීමට ඉම්රාන් ඛාන් දිගින් දිගටම අපොහොසත් වී තිබෙනවා. මේ හේතුවෙන් ජාත්‍යන්තරය තුළ පාකිස්ථානයට ඇති පිළිගැනීම දිනෙන් දින ශීඝ්‍රයෙන් බිඳවැටෙන්නේ රට බරපතළ අර්බුද රැසකට තල්ලු කරමින්. ඒ මත පාකිස්තානය, ආර්ථික, සමාජීය, ආරක්ෂක ඇතුළු සියලු ක්ෂේත්‍රවලින් බරපතළ කඩා වැටීමකට ලක්ව තිබෙනවා.

රට තුළ උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් පාකිස්තානුවන් මේ වෙන විට පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි. සැප්තැම්බර්යේදී 9%ක් වූ උද්ධමනය ඔක්තෝබර් මාසය අවසන් වන විට 9.2%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වසර අවසන් වන විට පකිස්ථානයේ උද්ධමනය ද්වි අගයක් ගනු ඇති බව ආර්ථික පර්යේෂකයන් අනතුරු අඟවනවා. පාකිස්තාන රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වී ඇති අතර ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල ඉතිහාසයේ ඉහලම අගය වාර්තා කරමින් පසුගිය සති අන්තයේ දී පාකිස්තාන රුපියල් 176ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතවූ සතිය තුළ පමණක් ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල පාකිස්තාන රුපියල් 5.76කින් වැඩි වී තිබෙනවා. ආනයන සඳහා ගෙවීම් ඉහළ යාම සහ ඇමරිකානු ඩොලර් බිලියන 6ක් වන IMF ණය වැඩසටහන යළි ආරම්භ වීමේ අවිනිශ්චිතභාවය පකිස්ථාන රුපියල මෙලෙස අවප්‍රමාණය වීමට හේතු වී තිබෙනවා.

මේ වන විට විදේශ ආයෝජකයන්ගේ ද විශ්වාසය බිඳ වැටී තිබෙන බවක් දක්නට ලැබෙනවා. ඒ බව පැහැදිලි වන්නේ පාකිස්තානයට  ලැබෙන සෘජු විදේශ ආයෝජන ද සැලකිය යුතු ලෙස පහළ යෑම හේතුවෙන් .පාකිස්තාන මහ බැංකු වාර්තාවලට අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ තුන්වන කාර්තුවේ දී පාකිස්තානයට  ලැබුණු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය 12%කින් පහළ ගොස් තිබෙනවා. ගත වූ වසර 5 තුළ සැලකිය යුතු තරම් විදේශ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පාකිස්ථානයට හැකියාවක් ලැබී නැහැ. පාකිස්තානය බරපතළ විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින පසුබිමක සෘජු විදේශ ආයෝජන මෙලෙස අවප්‍රමාණය වීම රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයටද එල්ල කර තිබෙන්නේ දැඩි බලපෑමක්. 

පකිස්ථානයේ සමීපතම මිතුරා ලෙස පෙනී සිටින චීනයෙන් ලැබෙන සෘජු විදේශ ආයෝජන ද පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ තුන්වන කාර්තුවේ දී පහළ ගොස් තිබීම විශේෂත්වයක්. පාකිස්තානයේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා ලෙස සැලකෙන චීනය මේ අවස්ථාවේදී පාකිස්ථානය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සැලකිය යුතු සහායක් ලබා දෙන බවක් ද දක්නට නැහැ. පසුගිය වසරේ තුන්වන කාර්තුවේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 399.5 ක් වූ පාකිස්ථානය තුල චීන සෘජු විදේශ ආයෝජන මේ වසරේ එම කාලයේ දී ඩොලර් මිලියන 116.5ක් දක්වා පහත වැටී තිබෙනවා. 

මේ වන විට පකිස්ථානයේ ඉන්ධන මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඉහළ යන ඉන්ධන මිලට සහනයක් ලබා දිය නොහැකි බව පාකිස්ථානයේ මූල්‍ය උපදේශක ෂවුකට්  තරීන් පසුගියදා එරට මාධ්‍ය වෙත පැවසුවා.   මේ වෙනවිට පාකිස්ථානය තුල ඉතිහාසයේ ඉහළම ඉන්ධන මිල ගණන් වාර්තා වනවා. ශීත කාලයේ එළැඹීමත් සමඟ පාකිස්තානයේ ඉන්ධන අවශ්‍යතාව ඉහළ යන අතර මිල සහනයක්.නොලැබීමෙන් අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙන බහුතර ජනතාව පත් වන්නේ දැඩි පීඩාවකටයි.

පාකිස්තාන  ආර්ථික අර්බුදයේ තරම මනාව පැහැදිලි වන්නේ එරට ණයබර දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 95%ක් දක්වා ඉහළ යාමත් සමඟයි. 

පාකිස්ථානයේ වාර්ෂික අයවැයෙන් විශාලතම කොටස වන ආරක්ෂක වියදම් සඳහා වෙන් කර ඇති මුදලට වඩා වැඩි මුදලක් ණය සේවාකරණය සඳහා වැය වන බව ජියෝ නිවුස් වාර්තා කර තිබෙනවා. කෙසේවෙතත් 2005 වසරේ සම්මත කෙරුණු පාකිස්තානයේ මූල්‍ය වගකීම් සහ ණය සීමා කිරීමේ පනතට අනුව නම්, රජයට දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 60 සීමාව ඉක්මවා ණය ලබාගත නොහැකියි.එත් රජය එම නීති තුට්ටුවකටවත් මායිම් නොකර දිගින් දිගටම සිය එදිනෙදා වියදම් පියවා ගැනීමට ණය ලබාගනිමින් සිටිනවා.

මේ වන විට රටේ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 122 ක් පමණ වනවා. ඒ අනුව විශාල මූල්‍ය ප්‍රවර්ධනයක් හා ණය සේවා සැපයීම සඳහා යම් අවංක සහයෝගයක් විදේශීය පාර්ශ්වයකින් අත්‍යාවශ්‍ය වන බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඉම්රාන් ඛාන් ට 2018 දී බලයට පැමිණීමට මඟ පෑදූ සුවිශේෂී කාරණාවක් ලෙස 2016 දී නිකුත් වූ පැනමා පත්‍රිකා හඳුන්වා දිය හැකියි. නවාස් ෂරීෆ්  සම්බන්ධයෙන් පැනමා පත්‍රිකාවලින් හෙළි වූ කාරණා "දූෂණයට එරෙහිව" සටන් පාඨය යටතේ හිටපු පාලකයන් බලයෙන් පහ කිරීමට තරම් ඉම්රාන් ඛාන්ට ප්‍රමාණවත් වුණා.  

නමුත් ඉන් තෙවසරකට පසු පැන්ඩෝරා පත්‍රිකා මගින් දූෂණයට එරෙහිව පත් පත්කරගත් ඛාන් ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ ඇමරිකානු ඩොලර් මිලියන ගණනක අක්වෙරළ ගිණුම් පිළිබඳ තොරතුරු හෙළි කර තිබෙනවා. 

ඒ අතර අතර පාකිස්තාන  මුදල්  අමාත්‍යවරයා සහ ජල සම්පත් අමාත්‍යවරයාද වනවා. පැන්ඩොරා පත්‍රිකාවල ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ නමින් පවත්වාගෙන යන ගිණුම් පිළිබඳ හා බදු නිදහස් රටවල කළ ගනුදෙනු පිළිබඳ තොරතුරු රැසක් හෙළිකර තිබෙනවා. 

අමාත්‍යවරුන්ට අමතරව ඉම්රාන් ඛාන්ගේ හිටපු ප්‍රධාන උපදේශක Waqar Massod Khanගේ පුත්‍රයා බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්වල පිහිටි සමාගමක සම හිමිකරුවෙක් බව පැන්ඩොරා පත්‍රිකා මගින් හෙළි කරනවා. එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ අර්බුදයක් හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී මාසයේදී ඇමති ධූරයෙන් ඉල්ලා අස් වූ Faisal Vawda බ්‍රිතාන්‍යයේ ආයෝජන සඳහා අක්වෙරළ සමාගමක් පිහිටුවා ගෙන තිබෙනවා.

පාකිස්ථානයේ හමුදා සාමාජිකයන්ගේ නම් හෙළිදරව් වීමත් සමඟ ඉම්රාන් ඛාන්ගේ හිතවතුන්ගෙන් සමන්විත පාකිස්තාන ප්‍රභූ කවයන් තුල මුදල් ගසාකෑමවලට ඉඩ සැලසෙන බවට  දිගු කලක් තිස්සේ පැතිර යන කටකතාවලට නව පණක් ලැබී තිබෙනවා. විශේෂයෙන්ම හමුදා ප්‍රධානීන්ගේ වත්කම් මාධ්‍යට නිරාවරණය නොවන තරම්  පැන්ඩෝරා පත්‍රිකාවලින් සිදු කෙරෙන්නේ ඒ නොපෙනෙන සත්‍යය හෙළිදරව් කිරීමයි. 

පැන්ඩෝරා පත්‍රිකාවලින් කළ හෙළිදරව් කිරීම් පිළිගත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවසුවේ ඒ පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකරන බවයි. නීති විරෝධී ලෙස ධනය එක් රැස් කර ගත් සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවට ඔහු සහතික වුණා.

කෙසේ වෙතත් පැන්ඩෝරා හෙළි කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරන පකිස්තාන මහජන පක්ෂයේ මන්ත්‍රී  Shazia Marri පැවසුවේ පැනමා පත්‍රිකා අනාවරණය වූ අවස්ථාවේ විපක්ෂයේ සිට ඉම්රාන් ඛාන්  හැසිරුණු ආකාරය හා අනුගමනය ක්‍රියා කළ ක්‍රියාමාර්ගය අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු දැන් හැසිරෙන ආකාරය⁣ට බොහෝ සෙයින් වෙනස් බවයි. පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ඉම්රාන් ඛාන්ගේ කැබිනට්ටුවේ සියලු දෙනා ඉල්ලා අස්විය යුතු බව Marri  පවසනවා. 

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පරීක්ෂණ සඳහා කොමිසමක් පත් කිරීම සාමාන්‍යයෙන් සිදු වන දෙය බවත් ඔවුන් ඊට වඩා දෙයක් නොකරන බවත් Shazia Marri පවසා තිබුණා. ගත යුතු ක්‍රියාමාර්ග කල්දැමීම සඳහා පාකිස්තානය අනුගමනය කරන සාර්ථකම ක්‍රමය කොමිසමක් පත් කිරීම බවත් මෙය  වත්මන් ආණ්ඩුවේ පළමු කොමිසම  නොවන බවත්  විපක්ෂය පෙන්වා දෙනවා. 

මෙම තත්ත්වය තුල ඉම්රාන්.ඛාන්ට  සිය සම්පූර්ණ ධුර කාලය තුල බලයේ රැඳී සිටීම අභියෝගාත්මක වී තිබෙනවා.

අගමැති ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් වත්මන් පකිස්තාන ආණ්ඩුවට වසර පහක් වන සිය පාලන කාලය සම්පූර්ණ කිරීමට නොහැකි වනු ඇති බව එරට හිටපු ජනාධිපති අසීෆ් අල් සර්දාරි ද පවසා තිබුණා.

ඉම්රාන් ඛාන්ගේ රජය බලයට පත් කිරීම සදහා වෙහෙසුණු පාර්ශ්ව මේ වනවිට තමන් වරදක් කළ බව පිළිගනිමින් ඇති බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

එරට විපක්ෂය ,අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ආණ්ඩුව වහා ඉල්ලා අස්වී නියමිත කාලයට පෙර මහා මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා දැවැන්ත විරෝධතාවයන්ද දියත් කරමින් සිටිනවා. රජයට එරෙහි විරෝධතා සඳහා දහස් සංඛ්‍යාත ජන සහභාගීත්වයක් ලැබී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. 

මේ තත්ත්වය තුළ පාකිස්තානය යළිත් වරක් අස්ථාවර රාජ්‍යයක්.බවට පත්ව තිබෙනවා. එහි වඩාත් බරපතල අවදානම වන්නේ අසල්වැසි ඇ⁣ෆ්ගනිස්ථානයේ පවතින තලේබාන් පාලනය හේතුවෙන් කලාපීය ආරක්ෂාව ද අනතුරේ වැටී ඇති මොහොතක පාකිස්තානය බිඳ වැටෙමින් තිබීමයි. එම අස්ථාවරත්වය ඉස්ලාම් සටන්කාමීන්ට කලාපය තුල සිය ආධිපත්‍යය පැතිරවීමට උත්ප්‍රේරකයක් වනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.