Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් ගැටුම ගාල්ලේදී අද ඇරඹේ




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වනවා. 

2021 - 2023 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ පැවැත්වෙන පළමු තරගයද මෙයයි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ දක්වා ටෙස්ට් තරග 22 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 9 ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත් අතර කොදෙව් කණ්ඩායම තරග 4 ක් ජය ගත්තා. 

දෙරට මේ දක්වා ටෙස්ට් තරගාවලි 10ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 3ක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා පිලට එරෙහිව ජයගෙන ඇත්තේ ටෙස්ට් තරගාවලි 2ක් පමණයි. තරගාවලි 9ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා. 2015 වසරෙන් පසුව ශ්‍රී ලංකා පිල කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කර නැහැ. කොදවේ කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකා පිලට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කර තිබුණේ 2003 වසරේදීයි.

අද තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා පිලට වාසිදායක ක්‍රීඩාංගණයක් ලෙසයි සැලකෙන්නේ. එම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ටෙස්ට් තරග 35කට ක්‍රීඩා කරමින් ජයගෙන ඇති තරග සංඛ්‍යාව 19ක්. ශ්‍රී ලංකා පිල ගාල්ල ක්‍රීඩාංගණයේදී පරාජය වී ඇත්තේ තරග 10ක් පමණයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසුවන අතර කොදෙව් කණ්ඩායම එම සටහනේ පසුවන්නේ 7 වන ස්ථානයේයි. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් කොදෙව් - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියද ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් තොරව පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

අද පැවැත්වෙන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම සම්බන්ධයෙන් නායක දිමුත් කරුණාරත්න මෙලෙස අදහස් පළ කළා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය සම්බන්ධයෙන් ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අදහස් පළ කළේ මෙලෙසයි.