Thursday, April 18, 2024

General line - 0115112241

දිමුත්ගේ ශතකය සමග ශ්‍රී ලංකා පිල ප්‍රබල ස්ථානයක




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේම ප්‍රබල ස්ථානයක පසුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. 

පළමු දිනය නිමාවන විට පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03 ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 267 ක්. 

ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 132 ක් රැස් කර සිටිනවා. 

ඔහු අද වාර්තා කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 13 වන ශතකයයි. දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල සඳහා ලකුණු 139 ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. 

ඒ අනුව 2018 වසරේ සිට ටෙස්ට් තරගවල වැඩිම වාර ගණනකදී ආරම්භක කඩුල්ල සඳහා ශකත සබඳතා ගොඩනගා ඇති රට බවට ශ්‍රී ලංකාව තවදුරටත් පත්ව සිටිනවා. ඒ, ශතක සබඳතා 07 ක් ගොඩනගමින්. පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 56 කට දැවී ගියා. 

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 03 කට දැවී ගිය අතර කලකට පසු ක්‍රිකට් පිටියට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් රැස්කළේ ලකුණු 03 ක් පමණයි. ධනංජය ද සිල්වා ලකුණු 56 ක් ලබා නොදැවී පන්දුවට පහර දෙනවා. 

මේ අතර මෙම තරගයේදී ටෙස්ට් වරම් හිමිකර ගත් කොදෙව් ක්‍රීඩක ජෙරම් සොලෝසානෝ පන්දු රකිමින් සිටියදී අනතුරකට මුහුණ පෑවා. ඒ දිමුත් කරුණාරත්න එල්ල කළ පහරක් හිස් ආවරණයේ ගැටීම හේතුවෙන්. අනතුරුව ගිලන් රථයක් මගින් ඔහු රෝහල් ගත කිරීමට පියවර ගැනුණා. වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි.