Sunday, December 5, 2021

General line - 0115112241

ආසියාවේ දරුණුතම ආහාර උද්ධමනය ශ්‍රී ලංකාවේ

3884Views



 

රට තුළ මේ වන විට පවතින ඉහළ උද්ධමනය අතාර්ථික ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් හටගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ පවසනවා. මෙම තත්ත්වය ආසියාවේ පවතින දරුණුතම ආහාර උද්ධමනය ලෙසම සැලකිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

පවතින උද්ධමනකාරී තත්ත්වය තවදුරටත් ඉහළයාමට ඉඩ නොදී පාළනය කිරීමට නොහැකිවුවහොත් සමස්ථ ආර්ථිකයට නොසිතූ ආකාරයේ බලපෑමක් ඇතිවිය හැකි බවද ජනක් කුමාරසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ සියයට 6 යි දශම 2 ක් ලෙස පැවැති, වාර්ෂික ලක්ෂමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සියයට 8 යි දශම 3 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් ඉහළ යාම බලපා ඇති බවයි මහ බැංකුව පවසන්නේ. පසුගිය සැප්තැම්බර් මාසයේ දී සියයට 10 ක් ලෙස පැවැති ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සියයට 11 යි දශම 7 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට 3 ක් ලෙස පැවැති අතර ඔක්තෝම්බර් මාසය වනවිට එම අගය සියයට 5 යි දශම 4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය යටතේ ඉදිරියේදී පොලී අනුපාතය ඉහළ දමනු ඇති බවට ද ඇතැමුන් මත පළ කළා. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පෙන්වා දෙන්නේ පොලී අනුපාත ඉහළ දැමීමෙන් පවතින උද්ධමනකාරී තත්ත්වය පාලනය කළ නොහැකි බවයි. 

වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක වැරදි ආර්ථික ප්‍රතිපත්ති අත්හදා බැලීමට යාම පවතින ආර්ථික ගැටළුවලට හේතුවී ඇති බවයි ආචාර්ය ප්‍රියංග දුණුසිංහ වැඩිදුරටත් පන්වා දුන්නේ.