Friday, April 26, 2024

General line - 0115112241

යුරෝපය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුරෝකථන වෙනස් වෙයි




යුරෝපා කලාපය, යළිත් කොරෝනා ව්‍යාප්තියේ අධි අවදානම් තත්ත්වයකට පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙම ප්‍රවණතාව අඛණ්ඩව පැවතුනහොත් යුරෝපා මහද්වීපයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ශීත ඍතුවේදී මිලියන 2 ඉක්මවා යනු ඇති බවටයි එම සංවිධානය අනතුරු අගවන්නේ. 

එමෙන්ම කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය පාලනය කිරීමට යුරෝපානු රටවල් ක්‍රමවත් පිළිවෙතක් අනුගමනය නොකළහොත් ලබන මාර්තු මස වනවිට යුරෝපයෙන් කොරෝනා මරණ ලක්ෂ 7 ක් පමණ වාර්තා වනු ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 

කෙසේවෙතත් ඉකුත් ඉරිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය අධ්‍යක්ෂකවරයා පැවසුවේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හදිසි පියවර නොගතහොත් එළඹෙන මාර්තු මාසය වන විට තවත් කොරෝනා මරණ පන් ලක්ෂයක් පමණ යුරෝපයෙන් වාර්තා විය හැකි බවයි. ඒ අනුව යුරෝපයේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය පුරෝකථන කෙටි කලක් තුළ විටින් විට වෙනස් කරමින් සිටින බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. 

තවත් කොරෝනා රැල්ලක ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යුරෝපා රටවල් මේවනවිට ප්‍රබල සටනක නිරත වී සිටිනවා. ඒ අනුව කොරෝනා ව්‍යාප්තියේ දැඩි අවදානමකට මුහුණ පා සිටින්නේ ජර්මනිය, ඔස්ටි්‍රයාව, පෝලන්තය, බෙල්ජියම, නෙදර්ලන්තය, ප්‍රංශය හා ඉතාලියයි.

පවතින තත්ත්වය අනුව කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් කඩිනම් කිරීමටයි යුරෝපා රටවල් මේවනවිට සැලසුම් කර ඇත්තේ. මේවනවිට යුරෝපා කොමිසමට අයත් රටවල සමස්ථ ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇත්තේ සියයට 67 යි දශම 7 ක ප්‍රතිශතයක් පමණයි.