Wednesday, April 24, 2024

General line - 0115112241

තලේබාන් ඇෆ්ගනිස්තානය හරහා මතුවන අනතුරැ හමුවේ මතුවූ දිල්ලි ප්‍රකාශනය




සිවිල් වැසියන්ගේ ඉරණම තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමත් සමග එරට තුළ බරපතළ අර්බුද රැසක් නිර්මාණය වෙමින් තිබෙනවා.

ඒ තුළ ඇෆ්ගන් ජනතාව දශක ගණනාවක් ආපස්සට ගමන් කරමින් සිටින බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. නිසි ආර්ථික ප්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙළක් නොමැති තලේබාන් පාලනය හේතුවෙන් ඇෆ්ගන් ආර්ථිකය පත්ව ඇත්තේ බරපතළ අර්බුදයකටයි.

මෙම තත්ත්වය තුළ ඇෆ්ගනිස්තානයේ දරිද්‍රතාවය සහ විරැකියාව පෙර නොවූ විරූ තරම් ඉහළ යනු ඇති බවට  පුරෝකතනය කර තිබෙනවා. 

එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන මෑතකදී නිකුත් කළ ප්‍රකාශනයක දැක්වුණේ කඩිනම් විසදුම් ලබා නොදුනහොත් කෝටි හතරක් වන සමස්ත ඇෆ්ගන් ජනගහනයම වර්ෂ 2022 වන විට අන්ත දිළින්දන්ගේ තත්වයට පත්වනු ඇති බවයි.  

ඇෆ්ගනිස්තානයේ ජාතික ආරක්ෂාව , නීතිය හා සාමය ද බරපතල අනතුරකට පත්ව තිබෙනවා. එහි ජනතාව චෝදනා කරන්නේ කුසගින්නේ දිවි රැකගැනීමේ අරගලයක නිරතව සිටින තමන්ට තලෙයිබාන් සාමාජිකයන් ඇතුළු විවිධ සන්නද්ධ කල්ලි වෙතින් හිංසනයන්ට ලක්වීමට ද සිදුව ඇති බවයි. 

ආරක්ෂාව බිදවැටීම ඇමරිකානු හමුදා ඉවත්ව යාමත් සමඟ තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය ලබා ගැනීමෙන් පසු පාකිස්තානයේ ටෙහ්රීක් අයි තලෙයිබාන් සංවිධානය ද යළි සන්නද්ධ විය හැකි බවට වූ අනාවැකි මේ වන විට සනාථ වෙමින් පවතින අතර ඇෆ්ගනිස්තානයේ ගැටුම්කාරී තත්ත්වයන් තවදුරටත් පවතින බැවින් ත්‍රස්තවාදීන් සරණාගත වෙස් ගෙන පාකිස්තානයට ඇතුළු වීමේ අවදානමක් ද මේ වන විට උද්ගතව තිබෙනවා.  

එමෙන්ම පසුගිය සති කිහිපයේදී ඇෆ්ගනිස්තානය තුළ ISIS -K ත්‍රස්තවාදීන් එල්ල කරන ස්වයං ඝාතක බෝම්බ ප්‍රහාරවල කැපී පෙනන වර්ධනයක් පෙන්නුම් කළා. 

මේ දක්වා අල්කයිඩා සංවිධානය සමඟ යහපත් සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට තලිබාන්වරු අසමත්ව ඇති අතර ISIS -K සංවිධානය ඔවුන්ට එරෙහිව සෘජුවම අවි ඔසවන තත්ත්වයකුයි මතුව ඇත්තේ.  

පවතින තත්ත්වය යටතේ ඇෆ්ගනිස්ථානය තුළ සිවිල් ජන ජීවිතය සහමුලින්ම බිඳ වැටී ඇති අතර ආරක්ෂක තත්ත්වය ද බරපතළ අර්බුදයකට ලක්ව තිබෙනවා.

බරපතලම කාරණය වන්නේ තලේබාන් සංවිධානය මෙන් නොව ISIS -K නායකයින්⁣ට ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයේ අත්හැර දමාගිය යුද උපකරණ හා ආයුද හොඳින් හැසිරවීමට ඇති හැකියාවයි.

මෙම තත්වය ඇෆ්ගනිස්ථානය තුළ බලය පතුරුවාගෙන සහ තහවුරු කරගෙන සිටින තලිබාන්වරුන් බලාපොරොත්තු වන ජාත්‍යන්තර පිළිගැනීම ලබා ගැනීමට මහත් බාධකයක් වී ඇති බවයි වාර්තාවන්නේ.

මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය ලොව පුරා ව්‍යාප්තවීමේ අනතුර තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලනය බාර ගැනීමත් සමග ලෝකය මුහුණ දෙන තවත් තර්ජනයක් නම් ඇෆ්ගනිස්තානයේ මත්ද්‍රව්‍ය ලොව පුරා වේගයෙන් බෙදාහැරීමත් සමග මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයක් ඇතිවීමේ ප්‍රවණතාවක් පැන නැඟීමයි.  
 

මෙය ලෝක සාමයට බරපතල තර්ජනයක් වනු ඇතැයි European Foundation for South Asian Studies (EFSSA) නවතම වාර්තාව පෙන්වා දෙනවා. ලොව විශාලතම ඔපියම් නිෂ්පාදකයා ඇෆ්ගනිස්තානය වන අතර එය ලෝක ⁣නිෂ්පාදනයෙන් 87%ක් පමණ වනවා.

ඇෆ්ගනිස්තානයේ ඔපියම් නිෂ්පාදනය මැඩලීම සඳහා ඇමෙරිකාව පසුගිය දශක දෙකක පමණ කාලය තුල ඩොලර් බිලියන 9ක් පමණ වැය කළද එහි ප්‍රතිඵලයක් ⁣ලැබී නැතැයි EFSSA වාර්තාව පෙන්වා දෙනවා.

ඇෆ්ගනිස්තානයේ ඔපියම් පාකිස්තානයේ දී හෙරොයින් බවට පත්කර යුරෝපීය වෙළෙඳ පොළට පැමිණෙනවා. "ද වොෂින්ටන් පොස්ට්" වාර්තාවක දැක්වුණේ පාකිස්තානය, ඇෆ්ගන් මත්ද්‍රව්‍ය ජාවාරමේ මුල් පෙළේ සහකරුවෙක් බවයි. සියයට 40ක් පමණ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන්නේ පාකිස්තානය ඔස්සේ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියට ආ බලවතුන් තිදෙනා මෙම පසුබිම යටතේ ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්වය, කලාපයට ඇති අවදානම සහ ඉදිරි මාවත පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉරාන, රුසියා සහ මධ්‍යම ආසියානු රටවල ජාතික ආරක්ෂක උපදේශකයින් සමග විශේෂ සංවාදයකට  නවදිල්ලිය සත්කාරකත්වය දරනු ලැබුවා.

කෙසේ වෙතත් පාකිස්තානය මෙම සංවාදය වර්ජනය කළා.තජිකිස්තානය, උස්බෙකිස්තානය හා ටර්ක්මෙනිස්තානයට අමතරව ඇෆ්ගනිස්ථානය සමඟ දේශසීමා බෙදා නොගන්නා මධ්‍යම ආසියාතික ජනරජයන් වන කිර්ගිස්තානය සහ කසකස්තානය පවා නවදිල්ලි සංවාදයට සහභාගී වූ  අතර, එය කලාපයේ රටවලට අවිනිශ්චිත ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැනෙන කනස්සල්ල පිළිබිඹු කරන්නක්.

ඇෆ්ගනිස්ථානයෙන් පැන නගින ත්‍රස්තවාදය පමණක් නොව, අන්තවාදීන්ට සෙවණ සැලසීම සහ මත්ද්‍රව්‍ය ජවාරම වර්ධනයවීමේ විභවයන්  පිළිබඳව කලාපයේ රටවලට ඇති කනස්සල්ල සැලකිල්ලට ගනිමින් නවදිල්ලි රැස්වීම වැදගත් වුණා.

නවදිල්ලි සමුළුව කලාපයේ නැගී එන ආරක්ෂක තත්ත්වය තුළ ඉන්දියාවේ කේන්ද්‍රීය බලය තහවුරු කිරීමක් ලෙසද හැඳින්විය හැකියි.

රුසියාවේ සහ ඉරානයේ ජාතික ආරක්ෂක උපදේශකයින් සමග මධ්‍යම ආසියානු රටවල ආරක්ෂක මණ්ඩල ලේකම්වරු සහභාගී වූ මෙම සංවාදයේ මුලසුන දැරුවේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් විසිනි.

දිල්ලි ප්‍රකාශනයේ ඇති කාලීන වැදගත්කම ඇෆ්ගනිස්ථානයේ සියලුම කොටස්වල කැමැත්ත සහ නියෝජනය නියෝජනය සහිත සියලු පාර්ශ්ව සම්බන්ධ රජයක් පිහිටුවීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් කලාපීය ආරක්ෂක සංවාදයට මෙහි සහභාගී වූ රටවල් දිල්ලි ප්‍රකාශය සම්මත කර ගත්තා.

දිල්ලි ප්‍රකාශය මගින් ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක තත්ත්වය හේතුවෙන් පැන නගින ඇෆ්ගන් ජනතාවගේ දුක් වේදනා පිළිබඳව දැඩි කනස්සල්ල පළ කෙරුණු අතර කුන්දුස්, කන්දහාර් සහ කාබුල් හි ත්‍රස්ත ප්‍රහාර හෙළා දකින බව ප්‍රකාශයේ සඳහන් වුණා.

මෙම සංවාදයට එක්වූවන් සාමකාමී, සුරක්ෂිත සහ ස්ථාවර ඇෆ්ගනිස්ථානයක් සඳහා ශක්තිමත් සහයක් ලබාදීම සහතික කළ අතර ඇෆ්ගනිස්තානයේ ස්වෛරීභාවය, ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීමට සහ එහි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අවධාරණය කළා.කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් සඳහා නවාතැන්, පුහුණුව, සැලසුම් කිරීම හෝ මුදල් සැපයීම සඳහා ඇෆ්ගනිස්ථානයේ භූමිය භාවිතා නොකළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අදාළ යෝජනා සිහිපත් කරමින් සහභාගීවූවන් සඳහන් කළේ ඇෆ්ගනිස්ථානය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප්‍රධාන කාර්යභාරයක් ඇති බවත්, එහි අඛණ්ඩ පැවැත්ම රට තුළ ආරක්ෂා කළ යුතු බවත්ය.ඇෆ්ගනිස්ථානයේ පිරිහෙමින් පවතින සමාජ-ආර්ථික සහ මානුෂීය තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කළ ආරක්ෂක ප්‍රධානීන්, ඇෆ්ගනිස්ථානයේ ජනතාවට කඩිනම් මානුෂීය ආධාර සැපයීමේ අවශ්‍යතාවය අවධාරණය කළා.

ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර බාධාවකින් තොරව, සෘජුව සහ සහතික විය යුතු බව සහ ඇෆ්ගනිස්ථානයේ සමාජයේ සියලුම කොටස් හරහා වෙනස් කොට සැලකීමකින් තොරව එම ආධාර රට තුළ බෙදා හරින බව සහභාගී වූවන් අවධාරණය කළා.

‍නවදිල්ලි සංවාදය සම්බන්ධයෙන් තමන් සුබවාදීව බලා සිටින බව ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ප්‍රකාශක Zabihullah Mujahid පැවසුවා. එය මේ වනවිට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය මුහුණ දී සිටින දුෂ්කර තත්වය පිළිබිඹු කරවන්නක් ලෙසින් ද හදුනාගත හැකියි. 

 මේ පසුබිම තුළ හිද බලන විට ස්ථාවර ඇෆ්ගනිස්තානයක් හරහා එහි ජන ජීවිතය සුරක්ෂිත කිරීමටත්  , කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට දිල්ලි ප්‍රකාශය අතිශය වැදගත් වනු ඇති.