Wednesday, April 24, 2024

General line - 0115112241

ඉල්ලීම් කරද්දී ප්‍රවේශම් වෙන්න : පාස්කු ප්‍රහාරය ගැන යහපාලන පාලකයින්ට ජනපතිගෙන් පණිවිඩයක් (VIDEO)




පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබෙනවා. එය පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි කටයුතු වෙනුවෙන් යොමු කර තිබෙනවා, පාර්ලිමේන්තු පනතකින් කොමිසම හෙළිකළ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය (2/3) ආණ්ඩුව සතුයි. එම නිසා ඉල්ලීම් කරන විට ප්‍රවේශම් වන ලෙසත් ජනතාව නොරවටන ලෙසද ජනාධිපතිතුමා විපක්ෂයට කියා සිටියා.

" ඒ අයම පත් කළා ජනාධිපති කොමිසමක්. ඒ කොමිසමේ පැහැදිලිවම කියල තියෙනවා වැරදිකාරයෝ කවුද කියලා. එවකට හිටිය ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමති මණ්ඩලය මේකට වගකියන්න ඕන කියලා පැහැදලිවම කියල තියෙනවා. අපි ඒ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඇටර්නිජනරල්ට ලබාදීලා තියෙනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීලා තියෙනවා ඒ ගැන පරීක්ෂණ කරලා ඒ අයට නිසි දඩුවම් ලබා දෙන්න කියලා.

හැබැයි අර ගිය ආණ්ඩුව වගේ අපි දේශපාලන පලිගැනීම් ගන්න අපි ඇඟිලි ගහන්නේ නැහැ. ඇයි අපිට කිව්වේ නීතිය ස්වාධිනත්වය තියන්න කියලා අධිකරණයේ. එක පැත්තකින් අධිකරණයේ ස්වාධිනත්වය ඉල්ලනකොට තව පැත්තකින් කියන්න බැහැ අහවලාව ගෙන්න අහවලාව දඩුවම් දෙන්න කියලා. ඒක අධිකරණය කරයි. හැබැයි විශ්වාසයක් තියෙනවා.

හැබැයි කඩිනමින් කරන්න ඕන නම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා, එහෙම කරලා තියෙනවා මීට ඉස්සෙල්ලා. ඒ වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න. ඒ කරපු වැරදි තවත් මේ රටේ කරන්න ඉඩ නොදෙන අන්දමට ක්‍රියාකරන්න පුළුවන් අවශ්‍ය නම්. ඒකනම් ඉල්ලන්නේ අපි ලැස්ති ඒක කරන්න. අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා. එක එක ඒවා ඉල්ලනකොට ටිකක් ප්‍රවේශමෙන් ඉල්ලන්න වෙයි. ඒකටත් අපි ලෑස්ති” ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

අග්නිදිග ආසියාව සතු විශ්වීය ඉදිකිරීම් තාක්ෂණයේ දකුණු ආසියාවේ සම්ප්‍රාප්තිය හෙවත් “අධිවේගී අහස් වියමන” ලෙස සැලකෙන “කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) අද පස්වරුවේ ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ. 

කොළඹ නගරයට ඇතුළුවන හා පිටවන වාහන හේතුවෙන් කැලණි පාලම ආශ්‍රිතව ඇති වූ අධික රථවාහන තදබදයට පිළියම් වශයෙන් නව ගුවන් පාලම ඉදිකරනු ලැබුවා.

ශ්‍රී ලංකා රජයේත්, ජපාන අන්තර්ජාතික සහයෝගීතා ආයතනයේත්, දායකත්වයෙන් 2012 වර්ෂයේදී මූලික සැලසුම් සකස් කර 2013 වසරේදී සිදුකරන ලද ශක්‍යතා අධ්‍යනයකින් පසු 2014 වසරේදී  පාලම ඉදිකිරීම් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම ද එම වසරේදීම සිදු කෙරුණා.

ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට නිවාස, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙනුවෙන් වෙනත් ස්ථාන ලබාදීමෙන් අනතුරුව 2017 වසරේදී ඉදිකිරීම් ආරම්භ විය.  ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 55,000ක් වැය වී ඇති අතර ඊට ගත වූ කාලය වසර හතරකි.

කොළඹ, කටුනායක අධිවේගී පිවිසුමේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරු 6කින් සහ එතැන් සිට ඔරුගොඩවත්ත හා ඉඟුරුකඩේ මංසන්ධිය දක්වා මංතීරු 4කින් නව ගුවන් පාලම සමන්විතය. මෙමගින් ඉඟුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය  දක්වා සහ ඔරුගොඩවත්තේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මතින් ඉදිවන අධිවේගී මාර්ගයන්ට ප්‍රවේශ පහසුකම් සැපයේ.

කැලණි ගඟේ ජල බැස්මට කිසිඳු අවහිරතාවක් සිදු නොවන අයුරින් පාලම ඉදිකර තිබීම සහ පරිසර සුන්දරත්වය සුරැකෙන පරිදි කොබොනීල, ඇසළ, මැයි මාර, මී, කුඹුක් ඇතුළු ශාක ප්‍රභේද රාශියක් ප්‍රධාන මාර්ගය දෙපස රෝපණය කර තිබීම සුවිශේෂත්වයක්.