Friday, April 19, 2024

General line - 0115112241

නව කැළණි පාලම පස්වරු 03 සිට මහජනතාවට විවෘත කෙරේ




නගර ආශ්‍රිතව පවතින රථවාහන තදබදය හේතුවෙන් වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ඉන්ධන අපතේ යන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

තාවකාලික විසදුම් ලබාදීමෙන් නොව ස්ථිර විසදුම් ලබාදීමෙන් එවැනි ගැටලු විසදිිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මෙරට ප්‍රථම අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැළණි පාළම හෙවත් “කළ්‍යාණී රන් පිවිසුම” ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

රටේ පවතින ගැටලුවලට ස්ථිර විසදුම් ලබාදීමේදී විපක්ෂය එය කඩාකප්පල් කිරීමට සූදානම් වන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැළණි පාලම අද පස්වරු 03 සිට මහජනතාවට විවෘත කරන බව මහාමාර්ග අමාත්‍යංශය පවසනවා.

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ආරම්භ වන ස්ථානයේ සිට පෑලියගොඩ පාළමේ මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ මෙම නව කැළණි පාලම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වනවා.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරු 06 කින් සමන්විත මෙම පාළම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හන්දිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරු 04 ක් වන ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා.
කැළණි ගඟ හරහා ඉදිකර ඇති පාළමේ දිග මීටර් 380 ක්.