Wednesday, April 24, 2024

General line - 0115112241

*ඉන්දියාව ලෙයින් නැහැවූ පාකිස්ථාන ත්‍රස්තයන්ගේ ප්‍රහාරයේ කදුළු මතකාවර්ජනය"




2008 වසරේ නොවැම්බර් මස 21 වැනිදා පාකිස්ථානයේ කරච්චි නුවරින් ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණයින් 10 යාත්‍රාවකට ගොඩවුණේ සිය පසමිතුරු ඉන්දියාවට මහා විනාශයක් සිදු කිරීමේ අරමුණින්.

AK - 47 ඇතුළු නවීන ගිනි අවි, පිස්තෝල මෙන්ම , අත් බෝම්බ ඇතුළු තවත් ආයුධ වලින් මෙම ත්‍රස්තයින් සන්නද්ධ වුණා.

ඔවුන් ඉන්දීය මුහුදු සීමාවට හොර රහසේම ඇතුළු වුණේ පැය 38 ක දිගු ගමනකින් පසුවයි.

ටිකෙන් ටික සිය ත්‍රස්ත වේශය ආරූඪ කරගත් මෙම තරුණයින් 10 දෙනා ඉන්දීය මුහුදු සීමාව තුල කුබෙර් ප්‍රදේශයේදී තමන් පැමිණි යාත්‍රාව අතහැර , ඉන්දීය ටෝලර් යාත්‍රාවක් පැහැර ගන්නේ එහි සිටි නිරායුධ ධීවරයින් 04 දෙනෙකු අමු අමුවේ මරා දමමින්.

කෙසේ වෙතත් ට්‍රෝලර් යාත්‍රාව හසුරවන්නා ඔවුන් සිය ග්‍රහණයට ගන්නේ ඉන්දියාවේ මුම්බායි වෙරළ තීරය වෙත තමන්ට මග පෙන්වා ගැනීමේ අරමුණ ඇතිවයි.

එතැන් සිට නාවික සැතපුම් 04ක් පැමිණෙන ඔවුන් යාත්‍රාව හසුරවන්නාද වෙඩිතබා මරා දමනවා.
අනතුරුව කුඩා රබර් බෝට්ටුවකට ගොඩවෙන මෙම පාකිස්තාන ත්‍රස්තයින් මුම්බායි නුවර කොලාබා ප්‍රදේශයෙන් ඉන්දියානු ගොඩබිම්ට ඇතුළු වන්නේ ලොව එතෙක් මෙතෙක් සිදුවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයකට අර අදිමින්.

පාකිස්ථානයේ සිට එතෙක් එක්ව පැමිණි මෙම ත්‍රස්තයින් පසුව කුඩා කණ්ඩායම් ලෙස බෙදී විසිර යනවා.

ඉන් අජ්මාල් කසාබ් හා ස්මයිල් මුම්බායි නුවර සිවාජි දුම්රියපොළ වෙත පැමිණෙන අතර ඒ වන විට ඉන්දීය වේලාව රාත්‍රී 09 ආසන්න වී තිබුණා.

සිය දෛනික රාජකාරී අවසන් කර නිවෙස් වෙත මෙන්ම දුරබැහැර නගර වෙත යාමේ අපේක්ෂාවෙන් සිටි ඉන්දියානුවන්ගෙන් සමස්ත දුම්රියපොළම අතුරු සිදුරු නැතිව පිරී පැවතියේ තවත් මොහොතකින් සිදුවන්නට යන විනාශයක කිසිදු හෝඩුවාවක් හෝ නොදැනයි.

එහිදී සිය පළමු ප්‍රහාරය දියත් කළ මෙම ලේ පිපාසිත ත්‍රස්තයින් දෙදෙනා  දුම්රිය ස්ථානය තුල සිටි නිරායුධ සිවිල් වැසියන් 58 දෙනෙකු වෙඩි තබමින් හා අත් බෝම්බ ප්‍රහාර එල්ල කර මරා දැමූ අතර තවත් 100කට අධික පිරිසක් එහිදී තුවාල ලැබුවා.

දුම්රිය පොලේ සිටි මගීන්ට ප්‍රහාර එල්ල කළ එම ත්‍රස්තයන් දෙදෙනාගේ මීළඟ ඉලක්කය බවට පත්වූයේ මුම්බායි නුවර පිහිටි රෝහලක්.
රෝහලේ සිටි අසරණ රෝගීන්, වෛද්‍යවරුන් ඇතුලු විශාල පිරිසකට එහිදී මෙම ත්‍රස්තයන් හිත් පිත් නොමැතිව වෙඩි තැබූ අතර කිහිප දෙනෙකු එහිදීද ජීවිතක්ෂයට පත්වුණා. 

මේ අතරවාරයේ තවත් ත්‍රස්තවාදීන් දෙදෙනකු දකුණුදිග මුම්බායි හි පිහිටි ලියෝ පෝල්ඩ් කැෆේ නම් ඉතා ජනප්‍රිය අවන්හල වෙත කඩා වැදී රාත්‍රී ආහාර ගමින් සිටි නිරායුධ ඉන්දියානුවන්ට දිගින් දිගටම වෙඩි තැබීමට පටන් ගත්තා

රාත්‍රි 9:30 ට පමණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් විදේශිකයන් ඇතුළු දස දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර තවත් විශාල පිරිසක් එහිදී තුවාල ලැබුවා.

එදින රාත්‍රියේ මුම්බායි නුවර ත්‍රස්ත භීතියෙන් තවත් ඇළලී ගියේ , මෝටර් රථ තුල සවි කර තිබූ කාල බෝම්බ දෙකක් ද පුපුරා යාම හේතුවෙන්.
ත්‍රස්තයන්ගේ මීළඟ වැදගත් ප්‍රධානතම ඉලක්කය බවට පත්වුණේ මුම්බායි නුවර පිහිටි ටාජ් හෝටලයයි.

ආගන්තුකයින් ලෙසින් එම හෝටලය තුලට ත්‍රස්තවාදීන් සිව්දෙනෙකු ඇතුළු වූ අතර ඔවුන් එහි සිටි සංචාරකයන් ප්‍රාණ ඇපයට තබාගනිමින් සිය ලේ පිපාසය සංසිදුවා ගනු ලැබුවා. 

26 වෙනිදා රාත්‍රී කාලයේ ටජ් මහල් හෝටලයට ඇතුළු වූ ත්‍රස්තවාදීන් මරා දැමීමට ඉන්දීය ආරක්ෂක අංශ වලට හැකි වුනේ 29 වැනිදා අලුයම් කාලයේයි. 

හෝටල් පරිශ්‍රය තුළ රැඳී සිටි අතරවාරයේ දී ත්‍රස්තවාදීන් එම හෝටල් පරිශ්‍රය තුළ පිපිරීම් හයක් සිදුකළ බව විදෙස් වාර්තා වල සදහන්. 

කෙසේ වෙතත් ගැටුම් පැවති  අතරවාරයේදී හෝටලය තුළ රැඳී සිටි සංචාරකයන් 250 කට වැඩි පිරිසක් අවස්ථා කිහිපයකදීම මුදාගන්නට ඉන්දිය ආරක්ෂක අංශ කටයුතු කලේ හෝටලයේ විවිධ ස්ථාන වල සැගව සිටි ත්‍රස්තයින්ගේ අනුකම්පා විරහිත ප්‍රහාර වලටද නොබියව මුහුණු දෙමින්. 

ලෝකයේ ම දැඩි අවධානයට යොමු වූ ටජ් මහල් හෝටලයට එල්ල වූ ප්‍රහාරයේ දී විදේශිකයන් ඇතුළු ඉන්දීය ජාතිකයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මීට අමතරව ත්‍රස්තයන්ගේ තවත් ඉලක්කයක් බවට පත්වූයේ මුම්බායි හි පිහිටි ඔබරෝයි හෝටලයයි

එම හෝටලයේදී ද සංචාරකයන් තිස් දෙනෙකුට දිවි අහිමි වූ අතර මුදා ගැනුණු සංඛ්‍යාව 143ක්.

මීට අමතරව මුම්බායි නුවර පිහිටි යුදෙව් ජාතික මධ්‍යස්ථානයකට ද ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ඇතුළු වී , මේ අතරවාරයේදී ප්‍රහාර එල්ල කළා.

එහිදී ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 07ක්. 
මෙම යුදෙව් මධ්‍යස්ථානයට ඇතුළු වූ පාකිස්තාන ත්‍රස්තවාදීන් මරා දැමුණේ , ඉන්දියානු කොමාන්ඩෝ බලකාය හෙලිකොප්ටර් ආධාරයෙන් පැමිණ ඊට ඇතුළු වීමෙන් අනතුරුවයි.

ඒ අනුව පාකිස්තාන ත්‍රස්තවාදීන් දින හතරක් පුරා මුම්බායි නගරයේ ස්ථාන 12කදී සිදුකළ වෙඩි තැබීම සහ බෝම්බ පිපිරීම් වලින් ජීවිතක්ෂයට පත්වූ ඉන්දියානුවන් හා විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 175ක්.

මෙම ප්‍රහාරවලින් තවත් 300කට අධික පිරිසක් තුවාල ලැබුවා.

කෙසේ වෙතත් ඉන්දීය ආරක්ෂක අංශ වල ප්‍රති ප්‍රහාරවලින් ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් දස දෙනාගෙන් නව දෙනකු ම ජීවිතක්ෂයට පත්වුණා.

දකුණුදිග මුම්බායි දුම්රිය ස්ථානයට ප්‍රහාර එල්ල කර පසුව ද තවත් රෝහලකට කඩාවැදී පළා යමින් සිටි ත්‍රස්තවාදීන් දෙදෙනකු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට ඉන්දීය පොලිසිය කටයුතු කළත් එහිදී ඇති බූව වෙඩි හුවමාරුවේ දී පළා යමින් සිටි එක් ත්‍රස්තවාදියෙකු  ජීවිතක්ෂයට පත්වූ අතර අජ්මාල් කසාබ්  නැමැති ත්‍රස්තවාදියා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසියට හැකියාවක් ලැබුණා. 

මෙම ප්‍රහාර මාලාවේ සුලමුල සොයා ගැනීමට ඉන්දියානු පොලිසියට හැකි වන්නේ ඉන් අනතුරුවයි.

ප්‍රහාරය සඳහා පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන ලක්ෂාර්-ඊ-තයිබා නම් ත්‍රස්ත සංවිධානය සම්බන්ධ බවට එහිදී අනාවරණ වනවා. 

මුම්බායි ප්‍රහාරය සැලසුම් කළ හා එය මෙහෙයවනු ලැබු පකිස්ථාන ලෂ්කාර්-ඊ-තායිබා ත්‍රස්තයින්, තරුණ සන්නද්ධ පුද්ගලයින් 10 දෙනෙකු මාස ගනණාවක් පාකිස්තානයේ කරච්චි හා තට්ටා යන නගර වලදී මෙම ප්‍රහාරය සදහා පුහුණු කර මුම්බායි වෙත එවා ඇති බව විමර්ශන වලදී අණාවරනය වුණා. 

මුම්බායි පොලිස් දෙපාර්තමේන්තුව මුලින් සැකකරුවන් 37 දෙනෙකු හඳුනාගත් අතර පකිස්ථාන හමුදා නිලධාරීන් දෙදෙනෙකු ද මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට සැක පළ වනවා.
සැකකරුවන්ගෙන් දෙදෙනෙකු හැර අන් සියල්ලන්ම හඳුන්වා ඇත්තේ අන්වර්ථ නාමයන්ගෙන්.

මුම්බායි ප්‍රහාරයේදී ජීවග්‍රහයෙන් අල්ලාගත් එකම සැකකරු වන  මොහොමඩ් අජ්මාල් අමීර් කසාබ් පොලිස් විමර්ශන වලදී පසුව අණාවරනය කළේ ඉන්දියාවේ ආර්ථික මර්මස්ථාන විනාශ කර සමස්ථ ඉන්දියාව අඩපණ කිරීම සිය කණ්ඩායමේ අරමුණ වූ බවයි.

කෙසේ වෙතත් 1987 වසරේ උපන් අජ්මාල් කසාබ්ට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති සිව් වසරක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ත්‍රස්ත චෝදනා සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම වුණා. 

ඒ අනුව 2012 වසරේ නොවැම්බර් මස 21 වැනිදා උදෑසන 7.30ට ඉන්දියාවේ පූනේ හිදී අජ්මාල් කසාබ් එල්ලා මරා දැමුවා. 

ප්‍රහාරය එල්ල කළ සියලුම දෙනා මරා දැමුවත් පාකිස්තානයෙන් ගලා එන ත්‍රස්ත ප්‍රචණ්ඩත්වයේ ගිණි පුපුරු අදටත් භාරත් මාතාවට එල්ල කරන්නේ දැඩි තර්ජනයක්.

ඊට බරපතලම හේතුව වන්නේ ත්‍රස්ත සංවිධාන සමග පාකිස්තාන රජය පවත්වාගෙන යන මිත්‍රශීලී ප්‍රතිපත්තියයි. ත්‍රස්තවාදීන්ට හා සංවිධාවල⁣ට ආධාර, අනුබල දෙන බවට එල්ලවන චෝදනාවලින් ගැලවීමට ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුවට ද නොහැකි වී ඇති අතර ත්‍රස්තවාදීන්ගේ තොටිල්ල බවට නම් දරා ඇති පාකිස්තානය ඉන් මුදා ගැනීම සඳහා කිසිදු සාධනීය පියවරක් ගැනීමටද ඉම්රාන් ඛාන් නොපෙළෙඹීම විමිති දනවනවා. 

ඉස්ලාම් අන්තවාදයේ ව්‍යාපෘතියත් සමග පාකිස්තානයේ ත්‍රස්තවාදී හිතවාදී හැසිරීම කලාපයටත් සමස්ත ලෝකයටත් එල්ල කරන්නේ බරපතල තර්ජනයක්. විවිධ පාර්ශ්ව විවිධ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා සාකච්ඡා මේසවලදී පාකිස්තානයට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ලෝක බලවතුන්ට බලකරන්නේ ⁣එම අනතුර දකින නිසාවෙනි.