Friday, April 26, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තයට පැමිණි ගුවන් යානා දෙකකින් කොවිඩ් ආසාදිතයින් 61ක් : නව ප්‍රභේදය දැයි සැක




දැඩි විකෘති තාවයක් සහිත ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවී ඇති පසුබිමක දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තය බලා පැමිණි ගුවන් මගීන් 600 දෙනෙකු අතරින් 61ක් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

ගුවන් මගීන් ගේ සිදුකළ PCR පරික්ෂණ මගින් මෙම කොවිඩ් ආසාදිතයින් හඳුනා ගෙන ඇති බවත් ඔවුන් අතරින් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වුවන් සිටිය හැකි බවයි නෙදර්ලන්ත සෞඛ්‍ය බලධාරීන් සැකපළ කරන්නේ. මේ වන විට එම ආසාදිතයින් දැඩි ආරක්ෂාකාරී නිරෝධායන ක්‍රියාවලියකට යොමු කොට ඇති අතර ඔවුන්ගේ ජාන විශ්ලේෂණ පරික්ෂණ සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවයි නෙදර්ලන්ත බලධාරීන් සඳහන් කරන්නේ.

දැඩි විකෘතිභාවයකින් යුත් මෙම ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව එන්නත් ප්‍රතිශක්තිකරණය මගහැරීමේ සම්භාවිතාව සීයයට 40කින් වැඩි බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

යුරෝපයේ පළමු වරට ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ රෝගියෙකු ඊයේ බෙල්ජියමෙන් වාර්තා වූ අතර ඇය දකුණු අප්‍රිකානු කලාපයේ සංචාරය නොකරන ලද අයෙකුවීම විශේෂත්වයක් වනවා. ඇය තුර්කිය සහ ඊජිප්තුවේ සංචාරය කිරීමෙන් අනතුරුව බෙල්ජියමට පැමිණි අයෙකු බවයි හඳුනා ගෙන ඇත්තේ.

මේ අතර ජර්මනිය සහ චෙක් ජනරජයෙන් ද ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ආසාදනය වූ බවට සැකකෙරෙන කොවිඩ් ආසාදිතයින් හඳුනා ගෙන ඇති බවට වාර්තාවන් පලවන අතර එම ආසාදිතයින්ගේ ජාන විශ්ලේෂණ වාර්තා මේ වන විට සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.