Friday, April 26, 2024

General line - 0115112241

චීන ජනපතිට අපහාස කිරීමෙන් වළකින්න ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොවිඩ් ප්‍රභේදයට නම තැබූ හැටි




චීනයට අපහාසයක් එල්ලවීම වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අප්‍රිකානු කලාපයෙන් වාර්තා වූ කොවිඩ් ප්‍රභේදය සඳහා නම් තැබීමේදී ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කර ඇති බවට විදෙස් මාධ්‍ය චෝදනා එල්ල කර සිටිනවා.

කොවිඩ් ප්‍රභේදයන් සඳහා ඉකුත් මාර්තු 31 වෙනිදා සිට ග්‍රීක අක්ෂර භාෂාව උපයෝගී කර ගනිමින් නම් තැබීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගනු ලැබුවා. ඒ කොවිඩ් ප්‍රභේද හඳුනා ගනු ලබන රටවල නම් භාවිතා කිරීම වැළැක්වීමේ අපේක්ෂාවෙන්.

ඒ අනුව, මේ දක්වා Alpha, Beta, Gamma සහ Delta යන ග්‍රීක අක්ෂරයන් භාවිත කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් ප්‍රභේද සඳහා නම් තැබීම සිදුකර සිටියා.

කෙසේ වුවත් ග්‍රීක අක්ෂරයන්ට අනුව නව කොවිඩ් ප්‍රභේදයක් සඳහා නම් තැබීමට සිදුකර යුතුව තිබු Nu සහ Xi යන අක්ෂර දෙකම මග හරිමින් පසුගිය සිකුරාදා රාත්‍රියේදී ලෝක සෞඛ්‍ය සංවිධානය දකුණු අප්‍රිකානු කලාපයෙන් හමුවූ දැඩි විකෘතිභාවයකින් යුත් කොවිඩ් ප්‍රභේදයට O අක්ෂරය භාවිත කරමින් "ඔමික්‍රෝන්" ලෙස නම් කිරීමත් සමග ජාත්යනත්රය තුල දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා.

New යන වචනය සමග ඇතිවන ව්‍යාකුලත්වය මග හැරලීම සඳහා Nu අක්ෂරය භාවිතයට නොගෙන ඇති බවත් රටක ජනාධිපතිවරයෙකු අපකීර්තියට පත් කිරිම වැළැක්වීම සඳහා Xi යන අක්ෂරය භාවිතා නොකිරීමට තරම් ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය උපකල්පනය කරන්නේ.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය 2019 වර්ෂයේ අග භාගයේදී චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු ආකාරය සම්බන්ධයෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් දැඩි විවේචනයක් එල්ල කරනු ලැබූවා. එහිදී එල්ලවූ ප්‍රධානතම චෝදනාව වුයේ එම සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වන Tedros Adhanom Ghebreyesus චීන ජනාධිපති Xi Jinping සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන නිසා වෛරසය සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම හිතාමතාම අතපසු කළ බව දක්වමින් වීම විශේෂත්වයක්.

එමෙන්ම චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට මුල්‍ය ආධාර සැපයීමේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහලින්ම සිටින රටද වනවා.

තමන්ට අරමුදල් සැපයීමේ ප්‍රමුඛ ස්ථානයක පසුවන චීනය සහ එහි ජනාධිපතිවරයා හෑල්ලුවට ලක් කිරීම වැලැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ක්‍රියාමාර්ගය ගන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දැඩි විකෘතිභාවයකින් යුත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 06කින් වාර්තා වී ඇති අතර ප්‍රථම වරට බ්‍රිතාන්‍යයෙන් ද වෛරස් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව එරට සෞඛ්‍ය අංශ අද වාර්තා කර සිටියා.