Thursday, April 18, 2024

General line - 0115112241

ආර්ථිකය කඩා වැටීමට පෙර තීරණ වහා හරවන්න - දොර වැසූ රටවලට දකුණු අප්‍රිකානු ජනපතිගෙන් සැර ප්‍රකාශයක්




ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ අප්‍රිකානු රටවලට පනවා ඇති සංචාරක තහනම දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා හෙළා දැක තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසුවේ එම ආසාධාරණ ක්‍රියාවෙන් තමන් දැඩි ලෙස කලකිරීමකට පත්ව සිටින බවයි. 

සිය රටට මෙන්ම අසල්වැසි රාජ්‍යයන්ට ද පනවා ඇති සංචාරක තහනම කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන බව ද දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. 

වෛරස් ප්‍රභේදයක් පදනම් කර ගනිමින් අප්‍රිකාවට එරෙහිව සංචාරක තහනම් පැනවීමේ කිසිඳු විද්‍යාත්මක පදනමක් නොමැති බව හා ඒ ඔස්සේ අප්‍රිකාව අසාධාරණයට හා වෙනස්කම්වලට මුහුණ දෙමින් සිටින බවත් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය සඳහා සංචාරක තහනමක් පැනවීම පමණක් ප්‍රමාණවත්දැයි දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ලෝක ප්‍රජාවගෙන් ප්‍රශ්න කළා. 

එබැවින් අප්‍රිකානු කලාපයේ ආර්ථිකය කඩා වැටීමට පෙර සිය තීරණ යළි හරවන ලෙසයි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ. 

පළමුවරට දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනුණු ඔමික්‍රෝන් නමැති විකෘති කොරෝනා ප්‍රභේදය මේවනවිට ලොව පුරා රටවල ව්‍යාප්තවෙමින් තිබෙනවා. 

ඒ හමුවේ අප්‍රිකානු කලාපයේ රටවල් රැසක ජනතාවට සංචාරක තහනම් පැනවීමටයි ලොව රටවල් රැසක් මේවනවිටත් පියවර ගෙන ඇත්තේ. එබැවින් දකුණු අප්‍රිකානු සංචාරකයින් බොහෝ දෙනෙකු විදෙස් රටවලදී අපහසුතා රැසකට මුහුණ පා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.