Friday, April 19, 2024

General line - 0115112241

ඔමික්‍රෝන් නිසා ඉන්දියාවෙන් සංචාරකයින්ට නව නීති - ජපානයත් විදේශිකයින්ට දොර වසයි




සිය රටට ඇතුළුවන ගුවන් මගින් සඳහා ඉන්දියාව නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදී තිබෙනවා.

ඒ, දෙසැම්බර් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදියි.

ඒ අනුව ඉන්දියාවට ඇතුළුවන විදේශිකයින් සිය දින 14 ක විදෙස් ගමන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම අනිවාර්යය වනවා.

එසේම ගුවන් තොටුපළකට ඇතුළුවීමට පෙර, පැය 72 කට කලින් ලබාගත් PCR  වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එය කොරෝනා ආසාදිත නොවන බවට තහවුරු වන්නේ නම් පමණක් ඉන්දියාවට ඇතුළුවීමට අවසර හිමිවනු ඇති.  

මීට අමතරව ඔමික්‍රෝන් ව්‍යාප්තියේ අධි අවදානමක් ඇති බවට හඳුනාගෙන ඇති රටවලින් ඉන්දියාවට ඇතුළුවන සංචාරකයින් ගුවන් තොටුපළේදී කොරෝනා පරීක්ෂාවකට ලක්විය යුතු වනවා. එහි ප්‍රතිපල නිකුත් වන තෙක් ඔවුන් ගුවන් තොටුපළ තුළ රැඳී සිටිය යුතු බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. ප්‍රතිපල අනුව කොරෝනා ආසාදිත නොමැති බව තහවුරු වුවත්, ඔවුන් දින 07 ක නිරෝධායනයකට යොමුවිය යුතු වනවා.

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා සියලු විදෙස් සංචාරකයින් සිය රටට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවීමට ජපානය තීරණය කළා. ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ පැතිර යාම වැළැක්වීම සඳහා හදිසි පූර්වාරක්ෂාවක් පියවරක් ලෙස එම ක්‍රියාමාර්ගය ගන්නා බවයි ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂීඩා පැවසුවේ. ඒ අනුව හෙට සිට සංචාරකයින්ට ජපානයේ දොර වැසෙනු ඇති.  

මේ අතර ලොව පුරා ව්‍යාප්ත වෙමින් ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් හමුවූ නවතම රට බවට කැනඩාව පත්ව තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ පැවසුවේ ඔටාවා අගනුවරින් ඔමික්‍රෝන් ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු හඳුනා ගැනුණු බවයි. ඔවුන් දෙදෙනා නයිජීරියාවේ සිට පැමිණී පුද්ගලයින් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ. ඒ අනුව රට තුළ ඔමික්‍රෝන් වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගත හැකි ඉක්මන් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේවනවිටත් සමාලෝචනය කරමින් සිටින බව කැනේඩියානු බලධාරීන් සඳහන් කළා.

මේ අතර ප්‍රංශයෙන් හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 08 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ප්‍රංශය මේවනවිට පස්වන කොරෝනා රැල්ලක අවදානමකට මුහුණ දී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඩෙන්මාර්කයෙන් ද ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 02 දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් දකුණු අප්‍රිකාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ. මේ අතර බ්‍රිතාන්‍යයෙන් හා ජර්මනියෙන් මේවනවිට ඔමික්‍රෝන් ආසාදිතයින් 03 දෙනා බැගින් වාර්තා වනවා.
නෙදර්ලන්තයේ ඔමික්‍රෝන් ආසාදිතයින් හා ආසාදිතයින් බවට සැකකෙරෙන පුද්ගලයින් නිරෝධායනයට යොමු කර සිටි හෝටලයකින් පලාගිය යුවළක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා ගුවන් යානයටකට ඇතුළුවී සිටියදී සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

සැකකරු හා සැකකාරිය පළාගොස් ඇත්තේ නෙදර්ලන්තයට පැමිණ සිටින දකුණු අප්‍රිකානු ජාතිකයින් පිරිසක් නිරෝධායනයට ලක් කරමින් සිටින හෝටලයේ රඳවා සිටියදීයි.

මේ අතර විදෙස් මාධ්‍ය පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් මේවනවිට රටවල් 20 කට ආසන්න ප්‍රමාණයකින් වාර්තා වී ඇති බවයි.